ඉතිහාසය කන්නදැයි වරෙක මෙරට පාලනය කළ ප්‍රවීණ දේශපාලනඥයකු කියපු කතාවක් මේ මොහොතේ සිහියට නැගේ. ඉතිහාසය හීන් සැරේ පෑල දොරින් ගෙතුළට එන අනාගතය යැයි කියමනක්ද ඇත. ඉන් අනාගතය සාර්ථක කර ගැනීම සඳහා ඉතිහාසය කෙතරම් බලපෑමක් කරන්නේද යන වග මැනවින් කියැවේ. ඉතිහාසය අමතක කොට ගමනක් යන්නට සූදානම් වන කවරකුට හෝ අවසානයේ අත්විඳීමට සිදුවන්නේ පරාජයක් මිස ජයග්‍රහණයක් නම් නොවේ.

ඈත ඉතිහාසය පසෙක තබා පසුගිය වසරේ අප පහු කළ මෑත ඉතිහාසය දෙස බලන කල අද අප සිටින්නේ කොතැනද යන්න වග අපටවත් පැහැදිලි නැත. රට පවතින්නේ එතරම්ම ව්‍යාකූල අවස්ථාවකය.

අප මේ මොහොතේ රටේ ඇති දේශපාලන තත්ත්වය පිළිබඳව පුන පුනා පවසන්නට උත්සාහ නොකරමු. සැබැවින්ම එයට හේතුව නම් මේ වන විට රටේ ජනතාවට දේශපාලනය යන වචනය පවා කල්කඳුරු වී හමාර නිසාය.

දේශපාලනය හා දේශපාලනඥයා ගැන මේ රටේ ජනතාව අද වන විට දරන මතය සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවතිය යුතු තත්ත්වයක් නොවේ. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේශපාලනඥයා යනු වැදගත්, බුද්ධිමත් චරිතයකි. නමුත් අද වන විට අප රටේ දේශපාලනඥයා පිළිබඳව එවැනි ප්‍රතිරූපයක් ගොඩනැගී ඇද්දැයි අප සිතා බැලිය යුතුය.

සැබැවින්ම පවතින්නේ එවැනි තත්ත්වයක් නොවන බව පැහැදිලි කරුණකි.
රටක් සංවර්ධනය කරා යොමු කොට දියුණු කරන්නේත් සංස්කෘතිය සු‍පෝෂණය කොට සදාචාරසම්පන්න සමාජයක් ගොඩනැගීමට මුල් වන්නේත් රටේ ප්‍රධාන දේශපාලන ධාරාව නියෝජනය කරන දේශපාලනඥයන්ය. දුප්පත්කමේ අගාධයේ සිට අද වන විට දියුණුවේ හිනිපෙත්තටම නැගි රටවල් ඒ තත්ත්වය කරා රැගෙන ආවේ රටට ආදරය කළ දේශපාලනඥයන් විසින් බව නොරහසකි. අල්ලපු වැටේ ඇති සිංගප්පූරුව එයට හොඳම නිදසුනකි.

නමුත් අවාසනාවකට අපේ රටේ දේශපාලනඥයින්ට එවැනි හැඟීමක් පහළ වී නැත. ඔවුන් ඡන්ද බලය ලබා ගැනීම සඳහා දේශපාලන කරළියේ පාරම්බාන තරමට කියූ දෙය සිදුවූවා නම් අද ශ්‍රී ලංකාව සිංගප්පූරුව මෙන් විසිතිස් ගුණයකට වඩා දියුණු වූ රාජ්‍යයකි. අවාසනාවක කරුමය නම් අප තවමත් මේ සිහින කතාවලට රැවටීමයි.

පසුගියදා ජනාධිපතිවරයා කියූ කතාවකින් මේ බව මැනවින් පැහැදිලි වේ. එක්තරා අවස්ථාවක ජනාධිපතිවරයා කියා සිටියේ “මම බලා‍පොරොත්තු වෙන්නේ ‍පොතපත හොඳට කියවන මන්ත්‍රීවරු. හොඳට පත්තර කියවන ජනතා නියෝජිතයෝ. ඇත්තටම මේ රට ගොඩනගන්න තියෙන ප්‍රධාන බාධාව මේ රටේ දේශපාලනඥයන්ගෙන් සෑහෙන පිරිසක් දූෂිතයින් හා වංචාකාරයින් වගේම නාස්තිකාරයින් වීමයි. මේ රටට ඇති ලොකුම අපලය එයයි.”

සැබැවින්ම එම ප්‍රකාශය කටේ මසුරන් දැමීමට තරම් වටිනා එකකි. ඇත්තටම මේ රට මෙතරම් ප්‍රපාතයකට තල්ලු කිරීමේ වගකීම මේ රටේ දේශපාලනඥයන් භාරගත යුතුය. විශේෂයෙන් ජනතා වරමක් ගෙන පාර්ලිමේන්තුවට ගොඩවන මන්ත්‍රීවරයා දත කන්නේ තම හතර වරිගයම ගොඩ දැමීමට ප්‍රමාණවත් ධනය ඉපැයීමයි. ජනතා මෙහෙවරක් ගැන වගේ වගක්, රටක සංවර්ධනය ගැන වගේ වගක් අපේ රටේ බහුතරයක් දේශපාලනඥයන්ගේ සිත්වල පූදින්නේ නැත. ඔවුන්ගේ එකම වෑයම වන්නේ කුමන බලුදහදුරා වැඩක් හෝ සිදුකොට රටට හෙණ ගැහුවත් තමන්ගේ මල්ල තර කර ගැනීමයි.

යහපාලන රජය මෙරටේ ජනතාව ගොඩනගන්නේ වංචාවට දූෂණයට හා නාස්තියට තිත තැබිමටයි. නමුත් අවාසනාවකට යහපාලන ආණ්ඩුවෙන් මේ රටේ ජනතාව බලා‍පොරොත්තු වූ අරමුණු සාක්ෂාත් වූයේ නැත. මෙරට බැංකු ඉතිහාසයේ විශාලතම මූල්‍ය මගෝඩිය වාර්තා වූයේ යහපාලන ආණ්ඩුව යටතේය. එපමණක් නොව යහපාලන ආණ්ඩුවේ සමහර ඇමැතිවරුන්ට දැවැන්ත මූල්‍ය චෝදනා එල්ල විය. සමහර ඇමැතිවරුන්ට ඇමැතිකම තබා යන්නට සිදුවූයේ විවිධ දූෂණ චෝදනා ඔවුන්ගේ නමට ඈඳුණු නිසාය.

යහපාලන ආණ්ඩුවෙන් ජනතාව බලා‍පොරොත්තු වූ වංචාවෙන්, දූෂණයෙන් හා නාස්තියෙන් තොර ජනතා රාජ්‍යය උදා වූයේ නැත. එම නිසා ජනතාව තුළ මෙරට දේශපාලනය ගැන පවතින්නේ දැඩි කළකිරීමකි. මෙය එතරම් යහපත් ප්‍රවණතාවක් නොවේ.

එමෙන්ම රටේ කිසිදු දැනෙන සංවර්ධනයක් සිදුවන වගක්ද පෙනෙන්නට නැත. එමෙන්ම සංස්කෘතික වශයෙන් රටම සෝදාපාළුවකට ලක්වෙමින් පවතී. ඇසූ ඇසූ තැන බැලූ බැලූ තැන දකින්නට ලැබෙන්නේ සමාජ අපචාර හා විෂමාචාරයන්ය. කුඩු සහ මත් රකුසා රට ගිලගෙන අවසන්ය.

විශේෂයෙන් ආර්ථික විෂමතාව බහුල රටවල් අතුරින් ශ්‍රී ලංකාවට අද හිමි වන්නේ ප්‍රමුඛ තැනකි. ඇති එකාට උතුරන්නට තිබියදී නැති එකාට එදා වේල කා ගන්නට ක්‍රමයක් නැත. උපයන මුදලට ජීවත් වීමේ වටපිටාවක් රට තුළ නැත. පාරිභෝගික ද්‍රව්‍යවල මිල පවා ඇත්තේ ඉහළ තැනකය.

සැබැවින්ම රටේ ජීවත් වන සමස්ත ජනතාව මේ මොහොතේ කිසිදු සතුටකින් සහජීවනයකින් සමාදානයකින් තෘප්තියකින් ජීවත් වන බවක් පෙනෙන්නට නැත. රට පුරා ඇත්තේ දරාගත නොහැකි අසහනයකි.

ලැබුවා වූ 2018 වසර රටේ ජනතාව බලා‍පොරොත්තු වූ දේශපාලන, ආර්ථික හා සාමාජීය අරමුණු සාක්ෂාත් වූ සුබ නව වසරක් සේම බත බුලතින් සරු නිදුක් නිරෝගී සුවයෙන් ආඪ්‍ය වූ සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමු.