මෙවර පළාත් පාලන මැතිවරණයට නමගිය අපරාධකාරයන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී ඇතැයි මැතිවරණ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන සංවිධාන කිහිපයක්ම කරුණු ඉදිරිපත් කර තිබේ. මෙම අපරාධකරුවන් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් වරින්වර අදහස් පළ වුවද එය යළිත් මාතෘකාවක් බවට පත්වූයේ අක්කරෙයිපත්තුව මහ නගර සභාවට ජාතික කොංග්‍රසයෙන් තරග කරන අපේක්ෂකයකු ගෙන්වූ කෝටි ගණන් වටිනා මත්පෙති තොගයක් අම්පාර ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙනි. මෙවැනි සමාජයට වින කරන පුද්ගලයන් මහජන නියෝජිතයන් සේ බලවත් කිරීම මගින් සිදුවනුයේ සමස්ත රටම අගාධයකට ඇද දැමීමකි.

විශේෂයෙන් පසුගිය කාලවල අප දිගින් දිගටම නිරීක්ෂණය කළ කරුණක් නම් කළු සල්ලි ඉපැයූ විවිධ ජාවාරම් කළ පුද්ගලයන් දේශපාලන බලය තහවුරු කර ගැනීමට ප්‍රයත්න දැරීමයි. මේ ජාවාරම්කාරයෝ විවිධාකාරයෙන් ඒ සඳහා ක්‍රියා කරති. මේ සඳහා ඔවුහු ඇතැම් විට දේශපාලන පක්ෂවලට, දේශපාලන චරිතවලට ඇති පදම් කළු සල්ලි වියදම් කරති.

මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ දෙකටද කළු සල්ලි වියදම් කළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රකෝටි ගණන් වංචා කළ චෞරයන් ගැන වාර්තා වූ අවස්ථා තිබේ. එමගින් ජාවාරම්කාරයින් අපේක්ෂා කරන්නේ දේශපාලන පක්ෂවලට වියදම් කර එම පක්ෂ බලවත් වූ පසු තම පැවැත්ම සේම ජාවාරම් ආරක්ෂා කර ගැනීමය. දේශපාලන බලය තිබෙන පාර්ශ්වය සමග සබඳතාවක් ඇති කර ගැනීමෙන් ජාවාරම්කාරයන්ට නීතියේද ආරක්ෂාව ලැබේ. එයට හේතුව මෙරටේ ‍පොලිස් දෙපාර්තමේන්තුව එහෙම් පිටින්ම දේශපාලන අධිකාරියට නතුවීමය. දේශපාලන අධිකාරියට ‍පොලිසිය නතු වූ කල අපරාධකාරයන්, ජාවාරම්කාරයන් පිළිබඳ නිසි විමර්ශනයක් සිදුවන්නේ නැත. විමර්ශනයක් සිදු වුවද එය අඛණ්ඩව සිදුවන්නේ ද නැත. එසේම එකී විමර්ශන නීතියට කොටු කර ගන්න තැනට යොමු වන්නේ නැත. එයට හේතුව දේශපාලන බලපෑමය. මෙය ජාවාරම්කාරයන් අනුගමනය කළ පළමු පියවරය.

එසේ වුවද දැන් අපට පෙනෙන්නට තිබෙන්නේ ජාවාරම්කාරයන්  සෘජුවම දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වන ආකාරයයි. ඉකුත් සතියේ රිවිර ඉරිදා සංග්‍රහය මුල් පුවතක් හැටියට වාර්තා කළේ කොළඹ ප්‍රදේශයේ නම ගිය කුප්‍රකට පාතාලයකුගේ සහ කුඩු ජාවාරම්කාරයකුගේ පුත්‍රයකු මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් තරග කිරීමට සූදානම් වන බවය. මෙයට අමතරව රටේ විවිධ පැතිවලින් පාතාලයට කුඩු ජාවාරමට සම්බන්ධ වූවන් දේශපාලනයට අවතීර්ණ වීමට දක්වන උනන්දුව වාර්තා විය.

දකුණු පළාතේ කොස්ගොඩ ප්‍රදේශයේ පාතාලයට හා කුඩු ජාවාරමට සම්බන්ධ පවුල්වල සාමාජිකයන් තරගයට සේ දේශපාලනය කිරීමට යොමු වූ ආකාරයක් දැකගත හැකිය. මේ බොහෝ අය තම අවධානය යොමු කරන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් නාමයෝජනා ලබා ගැනීමටය. එයට හේතුව අනෙක් පක්ෂවලින් ඔවුනට නාමයෝජනා නොලැබිමය. එසේම එයට බලපාන තවත් හේතුවක් වන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට සම්බන්ධ වූ විට දේශපාලන බලයට හවුල්වීම පහසු නිසාය.

සැබැවින්ම මෙය අතිශය බිහිසුණු අනතුරකි. මෙසේ දේශපාලන ක්ෂේත්‍රයට   අපරාධකරුවන් අවතීර්ණ වීමෙන් සිදුවන්නේ අත දිගහැර ඕනෑ විදිහට අපරාධ කිරීමට අවැසි හයිය නිදහස ලැබිමය. එය අපරාධකරුවන්ට ලැයිසන් ලැබිමක් වැනිය. එමගින් ලයිසන් ලැබූ අපරාධකරුවන් රජ කරනු ඇත. ප්‍රධාන පක්ෂ දෙකේ නාමයෝජනා පිළිබඳ මැතිවරණ නිරීක්ෂණ කමිටු කිහිප විටක්ම තම විවේචන ඉදිරිපත් කළේය. එකී විවේචන ප්‍රධාන පක්ෂ තැකූ බවක් නොපෙනේ. අපට පෙනෙන හැටියට දැන් තිබෙන්නේ ජනතාවගේ වගකීමය. කුමන දේශපාලන පක්ෂයක්, පාටක්, සලකුණක් නියෝජනය කළ ද අපරාධකාරයා සහ යහපත් අපේක්ෂකයා අතර වෙනස තේරුම් ගැනීමට ඔවුන්ට හැකිවිය යුතුය. එසේ නොවුණහොත් අනාගත පරපුර අපරාධකාරයන්ගේ ග්‍රහණයට ලක්වීම වැළැක්විය හැකි කරුණක් නොවේ.

පළාත් පාලන ආයතනවලින් ඇරඹෙන ගමන එතැනින් නතර වන්නේ නැත. එය පළාත් සභාවලටත් ඉන්පසු පාර්ලිමේන්තුවටත් ගමන් කරනු ඇත. අවසානයේ රටේ නීතිය හැදීම පිළිබඳ තීන්දු තීරණ ගන්නේ කවුරුන්ද? අපරාධකාරයන් බලවත් වුවහොත් රටට ඔබින නීතිය නොව ඔවුන්ට ගැලවීමක් තිබෙන නීතිම පැනවීමට ඔවුන් කටයුතු කරනු ඇත. ඒ නිසා මේ අනාගත අනතුර දැන්ම හඳුනාගෙන ඊට එරෙහිව මේ මැතිවරණයේදී ජනතාව අත්වැල් බැඳගත යුතුය.

මෙහිදි තවත් කරුණක් සිහිපත් කළ යුතුය. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ දැන උගත් යහපත් නීතිගරුක පුරවැසියන් රැසක් තම අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කර තිබේ. කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයන් දෙස බැලීමේදී මෙය තේරුම් ගත හැකිය. එම පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයා විශේෂඥ වෛද්‍යවරයෙකි. මෙවැනි ගමනකින් ජනතා විමුක්ති පෙරමුණට එක විට රටේ බලය ලබා ගැනීමට නොහැකි විය හැකිය. එසේ වුවත් එම පෙරමුණ ලබා දෙන ආදර්ශය අතිශය අගනේය. මෙය ප්‍රධාන දේශපාලන පක්ෂද ආදර්ශයට ගත යුතුය.
එය කොහොම වුවද ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී කිසිදු අපරාධකරුවකුට ජාවාරම්කරුවකුට ගමේ කමවත් නෑකමවත් තමන්ගේ පක්ෂයේ කමවත් නොතකා ඉඩ නොතැබිය යුතුය.