අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැලකෙන සාම්පූර්, සුඩකුඩා ප්‍රදේශයෙන් සොයාගත් දාගැබ සමතලා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කෙරෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බි.මණ්ඩාවල මහතා පැවසීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නැගෙනහිර පළාතේ කරනු ලබන ගවේෂණයකදී මෙම දාගැබ සොයාගනු ලැබූ බවත්, එය සම්පූර්ණයෙන්ම සමතලා කර ඇති බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

මෙම දාගැබ ඉකුත් 18 දා සමතලා කර තිබූ අතර,‍පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පණිවුඩයකට අනුව සාම්පූර් ‍පොලිසියේ නිලධාරීහු එම ස්ථානය නිරීක්ෂණය කළහ.

මේ සම්බන්ධව වාර්තාවක් සැකසීමට ත්‍රිකුණාමලය පුරාවිද්‍යා බලධාරීන්ට දැනුම්දී තිබෙන බවත්,අනතුරුව,ඒ පිළිබඳව ‍පොලිසියට පැමිණිලි කර විමර්ශනය කර හෙට අනිද්දාම අදාළ අය අත්අඩංගුවට ගැනීමට නියමිත බවද මණ්ඩාවල මහතා පැවසීය.

එතෙක් එම ස්ථානයට විශේෂ ආරක්ෂාවක් ඉල්ලා නොමැති බවත්,කිසිදු සාධකයක් ඉතිරි නොවන පරිදි සම්පූර්ණයෙන්ම ඩෝසර් කරඇති බවත් හෙතෙම පැවසීය.

මෙම ස්ථානයේ කිසිම සාධකයක් නොමැතිනම් ඉදිරියේදී කරනු ලබන කටයුත්ත සම්බන්ධව තීරණය කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධව සාම්පූර් ‍පොලිසියේ නිලධාරියකු කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධව මුතූර් මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇති බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාව ලද පසු එය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය.
ප්‍රදේශයේ කෝවිලක පාර්ශවයකට එම පුරාවිද්‍යා භූමියට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කෙරුණු බවද සාම්පූර් ‍පොලිසිය සඳහන් කරයි.

 සාලිය කුමාර ගුණසේකර