තේ අපනයන කර්මාන්තය ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන මාර්ග අතර ප‍්‍රමුඛ ප‍්‍රභවයකි. එය 2013 වසරේ දළ ජාතික නිෂ්පාදනයෙන් 2%ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් විය. මේ වන විට ශ‍්‍රී ලංකාව ලොව වැඩිම තේ නිෂ්පාදකයන් අතර සිව් වැනි ස්ථානයේ පසුවෙයි. අපට ඉහළින් පිළිවෙළින් චීනය, ඉන්දියාව සහ කෙන්යාව පසුවෙයි. ලොව වැඩිම තේ අපනයනකරු ලෙස ශ‍්‍රී ලංකාව වසර ගණනාවක් හෙබවූ ස්ථානය කෙන්යාව විසින් අත්පත් කර ගත්තේ 2010 වසරේ පමණය.

මෙරට තේ කර්මාන්තය ආශ‍්‍රිතව දශ ලක්ෂයකට වැඩි පිරිසක් ඍජු සහ වක‍්‍ර රැුකියාවල නිරත වෙති. 1995 වසරේ තේ සමාගම් සහ වතු ආශ‍්‍රිතව  215 000ක පිරිසක් ඍජු  රැුකියාවල නිරත වුහ. එහෙත් රටේ සමස්ත තේ කර්මාන්තයෙන් 69%ක් නියෝජනය කරන්නේ සුළු පරිමාණ තේ වතු හිමියන්ය. මේ අනුව අපේ රටේ ලක්ෂ ගණනක් ජනතාවගේ ජීවිකාව තේ කර්මාන්තය සමග බැඳී පවතින බව පැහැදිලිය. තේ කිලෝවක මිල රුපියලකින් දෙකකින් පහත වැටීම, තේ පොහොර මිල ඉහළ යාම ආදී කරුණක් පවා ඒ කර්මාන්තය ජීවිකාව කරගත් සියලූ දෙනා කෙරෙහි බලපායි.

රුසියාව ශ‍්‍රී ලංකා තේ සඳහා පනවා ඇති තාවකාලික තහනම පිළිබඳ අප සලකා බැලිය යුත්තේ මේ පසුබිමේය. සමස්ත ශ‍්‍රී ලංකා තේ අපනයනයෙන් 16%ක් මෙතෙක් මිලට ගත්තේ රුසියාවෙනි. ඒ තේ කිලෝ මිලියන 46ක් පමණය. මේ අනුව අප තේ කිලෝ සියයක් නිෂ්පාදනය කරන විට ඉන් කිලෝ 16ක් මිලට ගෙන ඇත්තේ රුසියාවය. රුසියාවේ මෙම තේ තහනම වහා ඉවත් නොවුණහොත් එය ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය කෙරෙහි අතිශය අනර්ථකාරී ලෙස බලපානු ඇත.

විශේෂයෙන් මේ සමග දේශීය තේ දළු මිල පහත වැටෙනු ඇති අතර අධික නිෂ්පාදන වියදම් සමග තේ කර්මාන්තය තව දුරටත් පවත්වා ගෙන යා නොහැකි තැනට පත්විය හැකිය. එසේම රුසියාවේ ශ‍්‍රී ලංකා තේ තහනම සමග එරට තේ ආනයනකරුවන් තේ නිෂ්පාදනය කරන වෙනත් රටවල් කරා යොමු විය හැකිය. එපමණක් නොව ශ‍්‍රී ලංකා තේ අපනයනය කරන සෙසු රටවල් ද අපේ තේ පිළිබඳ වපර ඇහින් බැලීමට යොමු වනු ඇත. ලංකාව වැඩිම තේ ප‍්‍රමාණයක් අපනයනය කරන්නේ පැරණි සෝවියට් රුසියානු රටවලට බව ද එය සමස්ත තේ අපනයනයෙන් 20%ක් බව ද අප අමතක කළ යුතු නැත.

මේ අවස්ථාවේ ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ සුබසෙත සඳහා ගත යුතු වැදගත්ම දේ තේ නිෂ්පාදනවල ප‍්‍රමිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා ඉහළ නිර්ණායක හඳුන්වා දී ඒවා ක‍්‍රියාත්මක කිරීමය. තේ වගා කිරීම, දළු නෙළීම, තේ සැකසීම, ඇසිරීම ආදී සමස්ත ක‍්‍රියාවලිය එමගින් ආවරණය විය යුතුය. වසර 150ක් තිස්සේ පියවරින් පියවර ගොඩනගා ගත් සිලෝන් ටී කීර්ති නාමයට කුඩා කුරුමිණියකු නිසා ඇති වූ කළු පැල්ලම මකා ගැනීම සඳහා වඩා ඉහළ ප‍්‍රමිතියකින් යුතු ගුණාත්මක තේ ජාත්‍යන්තර වෙළෙඳපොළට සැපයිය යුතුය.

එසේ නොමැතිව ලංකාවේ ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාව අපේ තේ තහනම් කළේ යැයි කියමින් කිසිවකු සිදුව ඇති වරද සාධාරණීකරණයට උත්සාහ කරන්නේ නම් එමගින් වන යහපතක් නැත. කෙසේ වුවද රුසියාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ඇස්බැස්ටොස් සපයන්නා බව ද ඇස්බැස්ටොස් තහනම පිළිබඳ ශ‍්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපතිවරයා කොළඹ දී සිය අප‍්‍රසාදය පළ කළ බව ද අමතක කළ යුතු නැත. 2012 සිට ශ‍්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා අනවශ්‍ය වූ නිරෝධායන සහතික නැවත බලාත්මක කිරීම සහ  ඒ සඳහා පරීක්ෂණාගාර 4ක් ස්ථාපිත කිරීම සිදුවන්නේ ද ඊට සමගාමීව බව අප අමතක කළ යුතු නැත.

ඒ කෙසේ වුව ද අප නියමිත ප‍්‍රමිතිය සහිත තේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කළේ නම් එවැනි දේශපාලන උගුලක වුව අප පහසුවෙන් වැටෙන්නේ නැත. එහෙයින් අප වහාම කළ යුත්තේ තේ කර්මාන්තයේ ප‍්‍රමිතිය සහතික කිරීමය. එසේම ජාත්‍යන්තර වෙළෙඳාම දේශපාලන උවමනා එපාකම්වලින් විනිර්මුක්ත හුදු භාණ්ඩයේ ගුණාත්මකභාවය මත පමණක් රඳන්නක් ලෙස සැලකීමට ද අප හදිසි විය යුතු නැත.