පසුගිය මාස අටකට පමණ කාලයක් තිස්සේ කැරම් තරගාවලියක් පවා සංවිධානය කර ගැනීමට නොහැකි ලෙස අක්‍රීයව පැවැති ශ්‍රීලංකා කැරම් සම්මේලනය වෙනුවෙන් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබූ නිලවරණයෙන් සාමාජික ඡන්ද 59ක් ලබා ගත් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂවරයකු වන පරාක්‍රම බස්නායක මහතා අභීනව සභාපතිවරයා ලෙස පත් විය.

එහිදී ඡන්ද 66ක් ලබා ගත් ශ්‍රී ලංකා ‍පොලිසියේ දයා විදානගම මහතා ‍ලේකම්වරයා ලෙස තෝරා ගනු ලැබිය.
පරාක්‍රම බස්නායක මහතා කැරම් සම්මේලනයේ තනතුරකට පත් වන්නේ පළමුවරට වුවත් දයා විදානගම මහතා මීට පෙරද සම්මේලනයේ විවිධ තනතුරු හොබවා ඇත්තෙකි. ලෝක ශූරතා දිනා ගන්නට සමත් වූ ක්‍රීඩාවක් වුවද නිලධාරීණ්ගේ පිල් බෙදීම් හේතුවෙන් නිලවරණය පවා පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පැවැති බැවින් පසුගිය කාලය පුරා මෙරට කැරම් ක්‍රීඩාවේ බරපතළ පසුබැසීමක් දක්නට ලැබුණි.

එසේ වුවත් අභිනවයෙන් පත්වූ නව නිලධාරි මණ්ඩලය කැරම් ක්‍රීඩාව නගා සිටුවීමට සමත් වනු ඇතැයි ක්‍රීඩාවට ලැදි සියලු දෙනාගේම බලා‍පොරොත්තුව වෙයි.

තේරී පත්වූ නිලධාරි මණ්ඩලය
සභාපති පරාක්‍රම බස්නායක, ප්‍රධාන ‍ලේකම් දයා විදානගම, උප භාපතිවරු : වී.ටී.එස්. සිරිමාන්න, බ්‍රින්ඩ්ලි වික්‍රමසිංහ, චින්තක එස්. ගුණසේකර, රවීන්ද්‍ර වික්‍රමසිංහ හා සුසන්ත ප්‍රනාන්දු, තරග ‍ලේකම් අමිතා වික්‍රමසිංහ, භාණ්ඩාගාරික ජානක ජීවන්දර, උප ‍ලේකම් කේ. ජයසිංහ, උප භාණ්ඩාගාරික ප්‍රිමාල් ප්‍රනාන්දු
මීට අමතරව ක්‍රීඩා සමාජ 10ක නියෝජිත පිරිසක් කාරක සභාවට තෝරාගෙන ඇත.

සීවලී එදිරිවීර