රටම ගිනිගත් තෙල් අර්බුදයට නිසි පිළියම් සොයමින් යන අතරේ යළිත් රුපියල් කෝටි ගණනක පාඩුවක් දරමින් කොමිස් මාෆියාවේ නිරත බලධාරීන් කළ තවත් අපරාධයක් කරළියට එන්නේ ගුවන් තෙල් අර්බුදය සමගය. මෙවැනි මාෆියාවක් ගැන පසුගිය මාසයේ රටේම තෙල් හිඟයක් ඇතිවූ මොහොතේත් කරළියට ආවද කිසිවකුටවත් දඬුවම් නොලැබිම හමුවේ එය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේය. මෙවරද ගුවන්යානා සඳහා යොදන ‘ජෙට් ඒ’ ඉන්ධන ගෙන්වීමේදී අක්‍රමිකතාවක් සිදුවන්නේ වගකිවයුතු නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසාය.

ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000ක් තෙල් සංස්ථාවෙන් ඇණවුම් කළ පසුව ඛිඩචදඨ-ඩ්චදඨ නෞකාව ලංකාව බලා පැමිණීමට තිබුණේ 13දාය. නමුත් එම නැව ප්‍රමාද වීම හේතු කරගෙන හදිසි මිලදී ගැනීමක් ලෙසින් ඉන්දියානු තෙල් සමාගමට අයත් මෙට්‍රික් ටොන් 14,000ක් සහිත ගුවන්යානා තෙල් නැවක් මිලදී ගැනීමට තෙල් සංස්ථාව කටයුතු කරන්නේ මේ අතරේය. ලීටරයක් ඇමෙරිකන් ඩොලර් 1.70කට සාමාන්‍ය මිලදී ගැනීම් යටතේ මිලදී ගන්නා ගුවන්යානා තෙල් ලීටරයක් සඳහා වැඩිපුර ඇමෙරිකන් ඩොලර් තුනක් ගෙවීමට මේ අනුව එකඟතාවක් විය. මේ අනුව ඇමෙරිකන් ඩොලර් 1.70ට මිලදී ගන්නා ගුවන්යානා තෙල් ලීටරය මිලදී ගන්නට යෙදුණේ ඇමෙරිකන් ඩොලර් 4.70කටය. වැඩිපුර ගෙවන්නට සිදුවූ මුදල රුපියල් කෝටි හයකට අධිකය.

ඛනිජ තෙල් අමාත්‍යවරයාත්, අමාත්‍යාංශ ‍ලේකම්වරයාත් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය සතියකට සැරයක් රැස්වී තොග සමාලෝචන කමිටුවේදී පවත්වාගෙන යන තෙල් තොග ගැන සාකච්ඡා කළද මෙම අර්බුදය කල්තියා හඳුනාගත නොහැකි වූයේ කොමිස් බලා‍පොරොත්තුවෙන් සිටි නිලධාරී මාෆියාවක් නිසාද යන්න සැක සංකා මතුවූයේ මේ අනුවය. තෙල් තොග පවත්වාගෙන යෑම සම්බන්ධව සතිපතා සාකච්ඡා කෙරෙද්දී මෙවැනි අර්බුදයක් නොදැක හදිසි මිලදී ගැනීම් කරා යන තත්ත්වයක් උද්ගත කළේ බලධාරීන්ගේම මාෆියාවක් නිසාවෙනි.

පසුගිය පාලනාධිකාරියත් පැවතියදී තෙල් තොග සමාලෝචන කමිටුව පැවැත්වුයේ සභාපති, වෙළෙඳ කළමනාකරු, වෙළෙඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, බෙදාහැරීම් කළමනාකරු, ගණකාධිකාරිවරයා සමග එක්වය. නමුදු දැන් අමාත්‍යාංශ ‍ලේකම්වරයා ප්‍රමුඛ සංස්ථාවේ උසස් නිලධාරීන්ද, කාලගුණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු මෙන්ම වරාය කටයුතු ගැන සාකච්ඡා කරන්නට හාබර් මාස්ටර් පවා එක්කර ගන්නේය.

එසේ වුවද අවසානයේ සිදුවන්නේ නිසි කළමනාකරණයක් නොවීම නිසා හදිසි මිලදී ගැනීමක් සඳහා මුදල් ගෙවීමටය. හදිසි මිලදී ගැනීමක් ලෙස ඉන්දියානු තෙල් සමාගමෙන් මිලදීගත් තෙල් නැව ලංකාවට පැමිණෙද්දීම අනෙක් තෙල් නැවත් කොළඹ වරායට සේන්දු වන්නේ මෙම සතියේදීමය.

කලින් තෙල් අර්බුදයට බියෙන් දිගට හරහට පෙට්‍රල් හා ඩීසල් ඇණවුම් කරන්නට බලධාරීන් කටයුතු කිරීම හමුවේ තොග ගබඩා පිරීමෙන් කොළඹ වරායට ළඟාවූ තෙල් නැව් තුනක් ප්‍රමාද ගාස්තු ගෙවමින් වරායට ඔබ්බෙන් නැංගුරම්ලා තිබිමද විශේෂත්වයකි.

එසේ තිබියදී වැඩි මිලක් ගෙවා මෙරටට ආනයනය කළ ගුවන්යානා තෙල් අඩංගු තෙල් නැවේ ඉන්ධන සාම්පල සපුගස්කන්ද පරීක්ෂණාගාරයේ පරීක්ෂාවට ලක් කළ මොහොතේ පළමු පරීක්ෂාවෙන් ප්‍රතික්ෂේප වන්නේ නියමිත ප්‍රමිතියට නොතිබුණු නිසාය.

පිට පිට ඉන්දියානු තෙල් නැව් දෙකක ඉන්ධන බාල තත්ත්වයෙන් ප්‍රතික්ෂේප වන්නේ මේ සමගය. කලින් රටපුරා තෙල් අර්බුදය ඇතිවන්නේත් ඉන්දියානු තෙල් නැවත් ප්‍රතික්ෂේප වීම නිසාය. එසේ නමුදු මෙවැනි ගුවන්යානා තෙල් නැව ප්‍රතික්ෂේප වන්නේ වැඩිපුර මුදලක් ගෙවා මෙරටට හදිසියේ ගෙන්වා තිබියදීය.

බලධාරීන් ප්‍රතික්ෂේප වූ තෙල් නැව කෙසේ හෝ ගොඩබා ගන්නට දැන් සූදානම් වන්නේ ජෙට් ඒ 01 ඉන්ධන භූමිතෙල් ලෙසට පරිවර්තනය කර විකිණීම සඳහාය. ගුවන්යානා තෙල් ලීටරයක් මෙරටදී විකුණන්නේ රුපියල් අසූවකටය. භූමිතෙල් ලීටරයක් විකිණෙන්නේ රුපියල් 45කටය. මේ අනුව ගුවන්යානා තෙල් භූමිතෙල් ලෙස විකිණීමට යෑමෙන් ලීටරයකට රුපියල් 35ක පාඩුවක් සිදුවන්නේය.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 14,000ක තෙල් නැවේ ලීටර් මිලියන 17.5ක අඩංගු වන්නේය. මේ අනුව රුපියල් මිලියන 612කවත් පාඩුවක් භූමිතෙල් ලෙස විකිණීමේදී ලැබිය හැකිය.

අවසාන වරට එළිදැක්වූ කෝප් කමිටු වාර්තාවේ ගුවන්යානා සඳහා ආනයනය කරනු ලබන ඉන්ධන පහළ ප්‍රමිතියකින් යුක්තව භාරගැනීමෙන් 2016 දෙසැම්බරයේත් වී ඇතැයි කරුණු දක්වා ඇත.

මෙම ඉන්ධන ප්‍රමිතිය නොමැති වුවත් භාරගත හැකි ප්‍රමිතියක පැවති බැවින් එම ඉන්ධන පිරිසිදු කර භාවිත කළ හැකි නිසා එලෙස භාරගත් බව සභාපතිවරයා ප්‍රකාශ කළ බව එම වාර්තාවේ සඳහන්ය.

2016 දෙසැම්බරයේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ්, සිංගප්පූරු සමාගම මගින් සැපයූ ගුවන්යානා ඉන්ධන මෙසේ ප්‍රතික්ෂේප වී ඇත්තේ බාල තෙල් ලෙසය. අවසානයේ තෙල් බැරලයකට ඇමෙරිකන් ඩොලර් 0.95ක වට්ටමකට යටත්ව භාරගැනීමට කටයුතු කර රුපියල් මිලියන 12ක ලාභයක් ලැබූ බව බලධාරීන් පෙන්වා දී ඇතත් එම ප්‍රකාශ තහවුරු වී නොමැත.

කෙසේ වුවද කිසිදු වැරැද්දකදී මෙම මාෆියාවන් පසුපස සිටි ජාවාරම්කරුවන්ට දඬුවම් නොදීම හමුවේ තෙල් ගනුදෙනු දිගින් දිගටම අර්බුදකාරී මට්ටමකට ඇදී යමින් තිබුණි. පසුගිය නොවැම්බර් මස මුලදී ඉන්දියානු තෙල් සමාගම මෙරටට ගෙන්වූ තෙල් නැවක ඉන්ධන ප්‍රමිතියෙන් තොර වීම හමුවේ වූයේ රටේම ඉන්ධන අර්බුදයක් ඇතිවීමය. ඉන්දියානු තෙල් නැව ප්‍රතික්ෂේප වීමෙන් පසුව රටම ‍පෝලිම්වල සිට බලා සිටියේ මීළඟ තෙල් නැව එනතුරුය.

සතියකට වරක් ඛනිජ තෙල් ඇමැතිවරයාත්, අමාත්‍යාංශ ‍ලේකම්වරයාත් ප්‍රමුඛව තොග විමර්ශන රැස්වීමේදී සංස්ථාව සතු ගබඩාවල ඇති තෙල් තොග ගැන සමාලෝචනයක් සිදුවුවද නිසි කළමනාකරණයක් නොවුණු නිසා අවසානයේ සිදුවූයේ රටේම තෙල් හිඟයක් මතුවීමය. නොවැම්බර් 03දා සිට රටේම තෙල් ‍පෝලිම් දකින්නට වූ අතර රටේ සියලු දෙනාට නැවෙස්කා ‍ලේඩි නමැති මැද පෙරදිගින් පැමිණි තෙල් නැව පැමිණෙනතුරු දින ගනිමින් බලා සිටින්නට සිදුවිය.

අවසානයේ තෙල් සංස්ථා බලධාරීන් මෙම චෝදනාවෙන් ගැලවෙන්නට යෙදූ පහසුම මාර්ගය වූයේ නොවැම්බර් 03දා හුවමාරු වූ එස්.එම්.එස්. පණිවිඩය හා මාධ්‍ය ප්‍රචාරයන් නිසා ඇතිවූ අධික ඉල්ලුම මත තොග කළමනාකරණ ක්‍රියාවලිය බිඳවැටුණු බවය. කෙසේ වුවද මේ සම්බන්ධව සංස්ථාව මගින් පැවැත්වූ අභ්‍යන්තර විමර්ශනයකින් කොළොන්නාව තෙල් තොග නිමාවේ බෙදාහැරීම් කළමනාකරු හා මෙහෙයුම් කළමනාකරු මගින් තෙල් අර්බුදයට මුල් වූ දිනය ‍පොහොය දිනයක් වූයෙන් එදින නිසි කළමනාකරණයකින් තෙල් තොග බෙදා නොහැරීම මෙම අර්බුදය දිග්ගැස්සීමට හේතුවූ බවය. වසර ගණනාවක් රටපුරාම තෙල් බෙදාහැරීමේ රටාව ගැන නිසි අවබෝධයක් මෙම නිලධාරීන්ට පළපුරුද්දෙන් තිබුණද ළදරුවන් මෙන් ක්‍රියා කළ නිසා මෙම තත්ත්වය හටගෙන ඇතැයි පෙනී ගොස් තිබේ. කෙසේ වුවද එම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් නොවූයේද ඔවුනට ඇති දේශපාලන හයිය නිසාය. එක් නිලධාරියකු රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ ඥාතියෙකි. තවත් නිලධාරියකු ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පවා නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් කලක් හෙබවූ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාති සරණ ලද අයෙකි.

කොළොන්නාව තොග ගබඩාවල ඉහළ කළමනාකරුවන් සියලු දෙනා පෙට්‍රල් තොග පවත්වා නොගැනීම ගැන වගකිව යුතුය.

කෙසේ වුවත් මෙම නිලධාරීන්ගේ බහුතරය බවුසර් මාෆියාවටත් සම්බන්ධ වූවන්ය. තෙල් සංස්ථාව සතු තෙල් බවුසර් 140ක් සංස්ථාව සතුය. තවත් 600ක් පමණ ඇත්තේ පෞද්ගලික හිමිකරුවන් සතුවය. එයින් බහුතරයක් සංස්ථාවේම නිලධාරීන් හා සේවකයන්ගේ මව, පියා හා ඥාතීන්ගේ නමට ගත් ඒවාය. බෙදාහැරීම් අංශයේ සේවකයන් පවා බවුසර් හිමියන්ය. සෑම දිනකම සවස දෙක වනවිට බදුල්ල බලා යන බවුසර්ද එවැනි ඒවාය. තෙල් බවුසර්වලට භූමිතෙල් කලවම් කරන මාෆියාවන් මෙන්ම උදේට ඩීසල් බාන බවුසර් ටැංකියේම හවසට පෙට්‍රල් ගෙන යන තත්ත්වයට පවා අද පුද්ගලික බවුසර් යොදවා තිබේ. පසුගිය අවස්ථාවන් පහකදී ඉන්ධන පිරවුම්හල් ගිනිගත් අවස්ථා වාර්තා වූ අතර, ඒ සියලු තැන්වලදී පුද්ගලික බවුසර්වලින් නිසි ක්‍රමවේදයකින් තොරව ඉන්ධන පිටතට ගන්නා විට මෙම ගිනිගැනීම් වාර්තා විය.

නොවැම්බර් 03දා ඉන්ධන හිඟයෙන් පසුව යළිත් ඉන්ධන හිඟයක් රටපුරා මැවුණේ මෙවැනි පෞද්ගලික බවුසර් පහක් හා ඉන්ධන පිරවුම්හල් දෙකක් හිමි මහනුවර තෙල් ව්‍යාපාරිකයකු යෙදූ කූට උපක්‍රමයක් නිසාය. නුවර, පේරාදෙණිය තොග ගබඩාවේ ටැංකි පිරී තිබියදී මොවුන්ගේ බවුසර්වලින් රැගෙන ගිය ඉන්ධන බෑමට තැනක් නොතිබුණෙන් රටපුරා යළි ඉන්ධන හිඟයක් ඇතිවන බවට ප්‍රචාරය කර තිබුණෙන් එය මහනුවරින්, මාත‍ලේ, කුරුණෑගල, කොළඹ දක්වා ව්‍යාප්ත වී රටටම යළි ඉන්ධන අර්බුදයක් මැව්වේය.

මේ සම්බන්ධව නියෝජ්‍ය ආරක්ෂක කළමනාකරු ලවා රහස් ‍පොලිසියට පැමිණිලි කළද එතැනින් එහාට වූ දෙයක්ද නොමැත.

දිනෙන් දින මේ අයුරින් ඛනිජ තෙල් ප්‍රශ්නය ඔඩුදුවන්නට මූලික හේතුව වී ඇත්තේ නිසි කළමනාකරණයක් නොමැති වීම හා විවිධ මාෆියාවන්වල නිරත වන ජාවාරම්කරුවන්ට නිසි දඬුවම් නොලැබිමය. නිලධාරී මාෆියාව තේරුම්ගෙන ඊට වගකිවයුත්තන්ට දඬුවම් නොදුණහොත් මෙයින් වන පාඩුව අත්විඳින්නේත් රටේ මහජනතාවගේ මුදලිනි.

මේ අයුරින් සිදුවූ මාෆියාවක් ඛනිජ තෙල් ඇමැති අර්ජුන රණතුංග මහතා නැවැත්වූයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) වරයකු අනිවාර්ය නිවාඩු යවමිනි. ඊට හේතුව වූයේ කොළොන්නාව තොග නිමාවේ වාර්ෂික ආදායම් වියදම් වාර්තාව වසර තුනකින් සකස් කර නොතිබිමය. මහජන මුදල් ගසාකමින් තෙල් සංස්ථාව පරිහානිය කරා ගෙන යන තවත් නිලධාරීන් බොහෝමයක් සිටින නිසා විෂය භාර අමාත්‍යවරයා මේ සියල්ලට වගකිවයුත්තන්ටද දඬුවම් දිය යුතුමය.

දැනට ඇති තොරතුරු අනුව මෙවර ගුවන්යානා තෙල් සහිත ඉන්දියානු නැවක් හදිසි මිලදී ගැනීමක් ලෙස මිලදී ගන්නට යන මොහොතේ වෙළෙඳ කළමනාකරු විරුද්ධ වී ඇතත් අමාත්‍යාංශ බලධාරීන්ගේ වුවමනාවට කෝටි ගණනක පාඩුවක් දරන්නට සිදුවී ඇත්තේය.

දේශීය ඉන්ධන ඉල්ලුම වැඩිවීමට සාපේක්ෂව යටිතල පහසුකම් දියුණු නොවීම හා ප්‍රමාණවත් රක්ෂිත තොග පවත්වාගෙන යාමට නොහැකි වීම මත නිලධාරී මාෆියාවට ගසාකෑමට ඉඩ ලැබි ඇත.

දැනට පවතින තොග ගබඩා අනුව පවතින මෙහෙයුම් ධාරිතාව සැලකිල්ලට ගැනීමේදී ඩීසල් මෙට්‍රික් ටොන් 140,652 ගබඩා කළ හැකි වුවද එය ප්‍රමාණවත් වන්නේ දින 23කටය. පේ‍රට්‍රල් (92) මෙට්‍රික් ටොන් 81,754 ප්‍රමාණවත් උපරිම දින ගණන 28කි. නැවක් පැමිණෙන විට පවතින ධාරිතාව අනුව එය සති දෙකකට ප්‍රමාණවත්ය. ගුවන්යානා තෙල් මෙට්‍රික් ටොන් 38,500ක් ගබඩා කිරීමට පහසුකම් ඇතත් එය ප්‍රමාණවත් වන්නේ දින 31කටය.

කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා දිවෙන නළ පද්ධතිය අලුත්වැඩියා නොකිරීම නිසා ඉන්ධන ගොඩබෑමේ පහසුකම් අඩුවීමත්, සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය හා පුළුල් කිරීමට ප්‍රමුඛතාවක් නොදීම හමුවේ රටේ ඉල්ලුමෙන් සියයට විස්සකටත් අඩු ප්‍රමාණයක් සපුරාලීමට සිදුවී ඇත. දැනට මුතුරාජවෙල බෝයාවේ නඩත්තු කටයුතු කිරීමට කාලය නොමැති වීම හමුවේ මුතුරාජවෙල බෝයාවේ යම් ගැටලුවක් මතුවුවහොත් තෙල් ගොඩබෑම නවතින්නේය.

එමෙන්ම කොළඹ වරායේ සිට කොළොන්නාවට ඇති එකම සක්‍රීය නළයත් විටින් විට කාන්දු වන නිසා විශාල කාන්දුවක් වුවහොත් රටේ බරපතළ තත්ත්වයක් ඇතිවීමට හැකිය. එමගින් රටට විදේශ විනිමයක් ලැබෙන ගුවන්යානා තෙල්වලටද දැඩි බලපෑමක් එල්ල කළ හැකිය.

මෙම කාරණා සැලකිල්ලට ගැනීමේදී කළයුතුව ඇත්තේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය හා පුනරුත්ථාපනය කිරීමය. දැනට කර ඇති විමර්ශනවලට අනුව රටේ අවශ්‍යතාව මත මසක රක්ෂිත තොග පවත්වා ගැනීමට ඝන මීටර් 12500ක තෙල් ටැංකි 24ක් අවශ්‍යය. තෙල් ගොඩබෑම සඳහා තවත් බෝයාවක් හා නළද අවශ්‍යය. වසර දෙක තුනක් මෙම ඉදිකිරීම් සඳහා යන අතර දළ වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 120කි.
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ ඉහළ කොටසේ ඇති තෙල් ටැංකි 85 නවීකරණය කිරීමට ඇමෙරිකන් ඩොලර් මිලියන 60ත් 70ත් අතර මුදලක් යන බව ඉංජිනේරුවන් ගණන් බලා ඇත.

මෙමගින් රටේ තෙල් අවශ්‍යතාවෙන් සියයට හැටක් පමණ ලාභ සහිතව උතුරු, උතුරු නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, වයඹ හා ඌව පළාත් සඳහා බෙදාහැර දැනට සිදුවන ප්‍රවාහන ගාස්තුවෙන්ද විශාල ලාභයක් ඉතිරි කරදීමට හැකිය.
මේ සඳහා මූලිකව තෙල් ටැංකි 16ක් අලුත්වැඩියාවට ඉංජිනේරුවන් සූදානම් කර ඇතත් මෙය ඉන්දියාවට ලබාදීමට කල්මැරීම නිසා රටේ තෙල් අර්බුදය තව තවත් ඔඩු දුවමින් ඇත. මුලින්ම තෙල් ටැංකි 16ක් සඳහා මුදල් වියදම් කර ඒ යන මුදල වසරකින් ආවරණය කිරීමටද හැකිය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව අනුව පසුගිය වසරේ ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 333ක් වැයකර තිබුණේය. එය මෙරට සමස්ත ආනයන වියදමෙන් සියයට දොළහක නියෝජනයකි. මේ අනුව බලන කල ත්‍රිකුණාමල තෙල් ටැංකි 85 යළි නවීකරණය කරන්නේ නම් ජාත්‍යන්තර තෙල් වෙළෙඳාමට ජාත්‍යන්තර ගබඩාවක් ලෙස භාවිත කරමින් මෙමගින් අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකිය.

ලෝකයේ දෙවැනි ගැඹුරුතම වරාය ලෙස ලෝක අවධානය යොමුවූ ත්‍රිකුණාමල වරායේ ඝන මීටර් 12500ක ධාරිතාවකින් යුත් තෙල් ටැංකි 102ක් හා අනෙකුත් පහසුකම් ඇති අතර ඉන් පහළ කොටසේ ඇති තෙල් ටැංකි 14ක් ලංකා ඉන්දියානු තෙල් සමාගම භාවිත කරයි. 1964දී බ්‍රිතාන්‍ය රජයට රන් පවුම් දෙලක්ෂ පනස් දහසක් ගෙවා තෙල් සංස්ථාව මෙම තෙල් ටැංකි සංකීර්ණය තම අයිතියට ගෙන ඇති බව නීතිපතිවරයාද පිළිගෙන ඇත්තේය. එසේ තිබියදී පසුගිය එජාප රජය 2003 වසරේදී ලංකා ඉන්දියානු තෙල් සමාගම සමග එළැඹ තිබුණු තෙල් ටැංකි පැවරීමේ ගිවිසුම අසම්පූර්ණ එකක් බවට මේ වනවිට සනාථ වී ඇත. ඒ අනුව ඉදිරියේදී එම ගිවිසුම බලාත්මක කරමින් රටට විදේශ විනිමය ලබාගත හැකි ඉතිරි තෙල් ටැංකි 85ත් පවරා ගන්නට මේ වනවිට සියලු පාර්ශ්ව කැස කවති.

එසේ වුවහොත් කෙටි කාලයකින් ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදෙන ප්‍රතිලාභ හමුවේ රටේම තෙල් පාලනයද ඉන්දියාවට යනු ඇත. අදටත් සංස්ථා ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 128ට විකුණද්දී ලංකා ඉන්දියානු තෙල් සමාගමේ (ඹ්ඛි) ඉන්ධන පිරවුම්හල්වල එම තෙල් ලීටරයම රුපියල් 131කට විකුණනු ලබයි. එම ඉන්ධන පිරවුම්හල්වලට තෙල් ගන්නේද කොළොන්නාව ගබඩාවෙන්ම වුවද එකම ගබඩාවෙන් ගන්නා තෙල් වැඩි මිලකට විකුණන්නේ මහජනතාවටත් නොදැනෙන්නටය.

මේ සියලු ලාභ රටින් ගලා යන්නේ ඉන්දියාවටය. ඉදිරියේදී තෙල් ටැංකි පාලනය හා ඉන්ධන පිරවුම්හල්වල බලය ඉන්දියානු තෙල් සමාගමට පැවරුණොත් ඔවුන් කියන ඕනෑම ගණනකට තෙල් මිලදී ගැනීමට රටවැසියාට සිදුවන්නේය. තෙල් සංස්ථාව හරහා ජනතාවට දෙන තෙල් සහනාධාර ඉන්දියානු තෙල් සමාගමෙන් ඉටුනොවන තැන ජනතාව යළිත් කබලෙන් ළිපට වැටෙන්නේය. මේ අනුව බලන කල රටේම තෙල් අර්බුදය විසඳීමට සංස්ථාවේ කළමනාකාරීත්වය නිසි කළමනාකරණයකින් යුක්තව පවත්වාගෙන යෑමත් රටට අවශ්‍ය තෙල් ටැංකි රජය යටතේම පවත්වා ගැනීමත් නොකළහොත් ඉදිරියේදී විශාල ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇත්තේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com