ලොව දිනන්නට යන ගමනේ බොහෝ බාධක හමුවන බව ඇත්තකි. එහෙත් ඒ සමහර බාධක අප විසින්ම නිර්මාණය කරගත් ඒවාය. අපට පාලනය කළ නොහැකි බාහිරින් පැමිණෙන බාධකවලට වඩා අපේ ගමනට දැඩි සේ හරස් වන්නේ අපට පාලනය කරගත හැකි එහෙත් අප යන්තමින් හෝ අවධානය නොකරන හේතු කරන කොටගෙන සිදුවන බාධකය. එකී බාධා හුදෙක් අපගේ ඉදිරි ගමනට පමණක් නොව පෞර්ෂය කෙරේද සිදු කරන්නේ විශාල හානියකි.

මේ බාධක අතරින් ප්‍රධානතම එකක් ලෙස සැලකිය හැක්කේ ශික්ෂණය (Discipline) යි. විනය හා හික්මීම යනාදී සමපාත පද ද මෙය විවරණය පිණිස යොදා ගන්නට පිළිවන. මේ කවරක් වුවද “නැතිකම” යන වදන පරව යෙදූ කල අපට දැනේනනේ මහත් අප්‍රසන්න බවකි. ශික්ෂණයක් නැතිකම, විනයක් නැතිකම, හික්මීමක් නැතිකම හුදෙක් පුද්ගලයාට පමණක් නොව අන්තයේ දී මුළු මහත් සමාජයම අගතියට පත් කරන්නට හේතු වෙයි.

එබැවින් විනය නොඑසේව හික්මවූ කලී අධ්‍යාපනය හා සමානවම නොඑසේව ඊටත් ඉහළින් ප්‍රගුණ කළ යුතු, හුරු කළ යුතු අවශ්‍යතාවක් ලෙස හඳුන්වන්නට පුළුවන.

විනය, හික්මීම පුරුදු කරගන්නට පුහුණු වන්නට උපාය මාර්ග තිබේද යන්න බොහෝ දෙනා අසන පැනයකි. අද දවසේ පවුලෙන් හෝ පාසලෙන් ප්‍රගුණ කරන්නට බැරි වුවහොත් තවත් දහ පහළොස් වසරකදී සමාජයම “ලෙඩ කරන්නට” එය හේතුවක් වෙයි. ඊළඟ පරම්පරාවට කියා දෙන්නට පළමු එය වැඩිහිටියන් වන අප විසින් ද ප්‍රගුණ කළ යුතු බව මගේ හැඟීමයි. අපේ අරමුණු කරා ළඟාවන්නට ඕනෑම ලජ්ජා නැතිකමක් වෙනුවට විනයවත් හා හික්මීමකින් යුතුව සමාජයේ ජීවත් වීමම අනාගත පරම්පරාවේ හික්මීම ඇති කරලීමේ ලා හොඳම පියවර වන්නට පුළුවන.

අද දවසේ කුමන තරාතිරමක, කුමන රැකියාවක, වයස් මට්ටමක අය අතරදීම විනය නැතිකම දකින්නට පුළුවන. මගී ප්‍රවාහන සේවාවේ සිට වෛද්‍ය නීතිඥ ආදී ඉහළ යැයි සම්මත වෘත්තීන්හි යෙදෙන්නන් පවා ඇතැම් විට මේ විනයක් නැතිකම හේතුවෙන් දෝෂ දර්ශනයට ලක්වනු අප අසා තිබේ. ලංකාව ද ඇතුළු දකුණු ආසියානු රටවල මේ කටයුත්තට “කප් ගහන්නේ” දේශපාලනඥයන්ය. ඉතින් මෙබඳු ලොවක විනයවත් වන්නට යාම උඩුගම් බලා පිහිනීමක් යැයි යමකුට සිතුණහොත් එය පුදුමයට කරුණක් නොවේ.

පළමුවෙන්ම අප විසින් කළ යුතු දෙය වන්නේ විනයවත්, පුද්ගලයකු වන්නට ඇති කර ගන්නා තිර අදිටනය. කවර අදිටනක් හෝ ජය ගන්නට නම් මුලින්ම අපට අවැසි වන්නේ එයයි. එබැවින් ස්වයං විනය පිළිබඳ තත්ත්වයද එසේම වෙයි.

තමාගේ අරමුණ කුමක්දැයි හරි හැටි අවබෝධයක් නොමැති තැන විනයක් හෝ පාලනයක් දකින්නට නොහැකි වෙයි. එයට ඇති තවත් එක් මගක් නම් සෑම උදෑසනකම දවසේ අරමුණ මනසින් චිත්‍රණය කිරීමයි. දහසකුත් රාජකාරී මේ අතර මේ මලඉලව් කරන්නට වෙලාවක් ඇත්දැයි යමකු මැසිවිලි නගනු ඇත. එහෙත් මා මේ පවසන්නේ නිදි ඇඳෙන් බිමට බසින මොහොතේ මිනිත්තුවක් දෙකක් වෙන්කර ගැනීමක් ගැනය. එය මනස නිරවුල් කරගෙන දවස ගෙන යන්නට මහත් ඔසුවකි. නිරවුල් මනසක් ඇති තැන ශික්ෂණය අතුරුදන්ව නොයෙයි.

වඩා ඉවසිල්ලෙන් කළ යුතු දෑ උදයවරුවේ අහවර කිරීම තවත් අපූරු සංකල්පයකි. හිතට වද දෙන හෝ මහත් බරක් ලෙස දැනෙන යම් කිසිවක් උදය කාලයේ නිම කර ගන්නට හැකිනම් සවස්වරුවේ ලැබෙන්නේ මානසික විවේකයකි, අනෙක් අතට එකී බරින් නිදහස් වූ පසු දවස ගෙවන්නේ තෘප්තිමත් ආකාරයකිනි. මෙය ශික්ෂණය කෙරේ බලපාන්නේ වක්‍රාකාරවය. මේ විවේකය ජුවම විනයවත් හැසිරීම කෙරේ බලපාන්නේය යන්න ඔබ කිසි විටෙකත් බැහැර නොකරනු ඇත.

ශික්ෂණයකින් යුතු පුද්ගලයකු වන්නට ශක්තිය අවශ්‍යයි. එකී ශක්තිය අපගේ මනස යහපත් අන්දමින් තබා ගන්නට ඉඩකඩ උදාකරයි. ඉදින් විවේකයක් නැතිකම යනු අප වෙහෙසට පත්ව ඇති බව නොවේද? වෙහෙසට පත්ව දවසේ අරමුණු කරා දිව යන සමාජයකින් හික්මීමක් දකින්නට පුළුවන් වේද?

ආහාර රටාව හා අපේ ආහාර පුරුදු ශික්ෂණය හා විනය කෙරේ බලපාන්නේ යැයි කිවහොත් යම් අමුත්තක් ඔබට දැනෙනු ඇත. එහෙත් උදෑසන ආහාරය නිතිපතා නිසි පරිදි නිසි වේලාවට ලබා ගැනීම තුළින් ශරීරයට ලැබෙන තෘප්තිය ඔබ නොදන්නවා නොවේ. අනෙක් අතට සිරුරට අවශ්‍ය ශක්තිය ගෙන එන ‍පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම තුළින් දවස මුළුල්‍ලේ යහපත් මානසික මට්ටමක් පවත්වාගෙන යන්නට පිළිවන් වෙයි. එබැවින් ආහාර යනු ශික්ෂණයේ මූලික අවශ්‍යතාවකැයි අප පවසන්නේ.

ඊළඟ කාරණය මත්පැනයි. මත්පැනෙහි ආදීනව සෑම ආගමකින්ම පවසන බැවිනුත් මෙය කියවන බොහෝ දෙනාම පාහේ එකී ආගමකට අයත්වන බැවින්තු ආගමික ඇසකින් යමක් පවසන්නට උත්සාහ නොකරමි. මත්පැනෙන් ඈත්ව සිටින්නට ඇත්නම් අගේ ඇති බව කිව යුතුයි. එහෙත් විද්‍යාත්මක පිලිගැනීම නම් මත්පැන විනය හා ශික්ෂණයට එරෙහි ප්‍රධානතම සතුරා බවය. මේ කියන්නේ බිමතින් කෙරෙන විප්‍රකාර ගැන නොවේ. අධිකතර මත්පැන් පානය ඔබේ ඊළඟ දවසට කරන අහිතකර බලපෑම ගැනය. ඊළඟ දවසේ ඔබේ ඉලක්කය කරා යන්නට නම් අද දවසේ මධුවිත මතත් ඔබේ හික්මීම තිබිය යුතු බව එහි අදහසයි.

විනයවත් හා හැදියාවකින් යුතු පුද්ගලයකු වීම සඳහා අරම්භය ගත යුත්තේ එදිනෙදා ඔබට සිදු කළ හැකි සුළු ක්‍රියාකාරකම් තුළිනි. බාගවිට මේවා ගැන ඒ හැටි තරුණ පරම්පරාව නොසිතනවා වන්නට ද ඉඩ තිබේ. උදෑසන අවදියෙන් පසු ඔබට නිදාගත් ඇඳ පිළිවෙළට සැකසීමේ සිට කාමර ගෙවල් මිදු‍ලේ අතුගෑම, වාහනය හෝ බයිසිකලය පිරිසිදු කිරීම ආදී සුළු දේ සමහර විට ඔබ අතින් මග හැරෙනවා වන්නට පුළුවන. එහෙත් මේ සුළු දේවලට ඔබ ගත සිත නතු කර ගන්නට කම්මැලිකමක් නොසිතා ඒවායෙහි යෙදෙන්නට, අපට හැකි නම් ඒ වූ කලී ශික්ෂණයේ ඇරඹුමයි.

අනෙක නම් මඩේ සිටවූ ඉන්නක් නොවීසිටීමයි. සිතන්න ඔබ යොදා ගත්තේ යැයි කියන දිනයේ යම් කිසි වේලාවක් ව්‍යායාම කිරීම සඳහා එහෙත් ඒ වෙලාව ළඟා වූ පසු ඒ ගැන නැවත නැවතත් කල්පනා කිරීම හෝ කල් දැමීම ශික්ෂණය නොවේ. තමා විසින්ම ගත් තීරණයක් වුව වගකීමක් ලෙස හිතට ගෙන සම්පූර්ණ කිරීමට පුරුදු වීම මනා හික්මීමක ගති ලක්ෂණයකි. එයට මනා ලෙස අනුබල සපයන අනෙක් කාරණය නම් දිනචර්යාව සැලසුම් කිරීමයි.

සැලසුම් කළ දින චර්යාව (Set up Routine) ඔබ එක්තරා රාමුවක තබා ගන්නට සමත්ය. ඒ රාමුව වනාහි අන් කවරක් හෝ නොව හික්මීමයි.

අවසන් වශයෙන් කිව යුත්තේ මේ කවර ආකාරයෙන් ශික්ෂණය පුරුදු පුහුණු වූයේ නමුදු ස්වයං ඇගයීම, ආත්ම තෘප්තිය නොමැති තැන විනයක් ඉතිරි නොවන බවයි. ක්‍රීඩා හා විනෝදාංශ මෙන්ම මානසික තෘප්තිය ගෙන එන ක්‍රීඩාංග (Sports and Recreational Activities) ද විනයවත් හා මනා ලෙස ශික්ෂිත පුද්ගලයකු බිහි කිරීම සඳහා උපකාරී වනු ඇත. එබැවින් විනය යනු හුදෙක් ගෙදර දී හෝ පාස‍ලේ දී වේවැල් කෝටු, නාරං සියඹලා අතුවලින් පමණක් හෝ මහා සමාජයේ දී බැටන් ‍පොල්ලෙන් පමණක් හෝ ප්‍රගුණ කරවිය හැකි දෙයක් නොවන බව අප වටහාගත යුතුයි.

පාලිත ජයකොඩි 

Untitled-8