ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ පළමු වටයට අයත් අවසන් තරග මේ සති අන්තයේ පැවැත්වෙන අතර එම තරග හතරෙන් දෙකක් අද (15) පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අද තුරඟ තරග පිටියේ දී ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවන සී.එච්. පිල එම සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටින නාවික හමුදාව සමග තරග වදින අතර එදින පැවැත්වෙන ඉතිරි තරගයේ දී ‍පොලිස් පිල සී.ආර්. පිල සමග සී.ආර්. ක්‍රීඩාංගණයේ දී තරග බිමට පිවිසෙයි.

පළමු වටයේ අවසන් තරගයක් ලෙස මහනුවර පිල හෙට (16)  හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී හැව්ලොක්ස් පිල මුණගැසෙන අතර එම වටය අවසන් කරමින් යුද හමුදාව හා ගුවන් හමුදාව අතර තරගය තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ඉරිදාය. මෙම තරගාවලියට සහභාගිවන කණ්ඩායම් අටම පළමු වටය ජයග්‍රහණයක් සහිතව අවසන් කිරීමට අපේක්ෂා කරන නමුත් එවැනි ජයග්‍රහණයක වැඩි වටිනාකමක් හිමිවන්නේ ‍පොලිස් පිල ලබන ජයග්‍රහණයකටය.

පළමු වටයේ දී ඔවුන් මේ දක්වා සහභාගි වූ එක තරගයක් හෝ ජය ගැනීමට අසමත්ව තිබිම එයට හේතුවය. එසේ වුවත් මෙම පළමු වටයේදී කණ්ඩායම් ප්‍රදර්ශනය කළ දක්ෂතා අනුව මෙවර ඉහළින්ම සතුටුවිය හැක්කේ සී. එච්. පිලටය.

ඔවුන් 2014 තරගාවලියේ දී එක ජයග්‍රහණයක් සහිතවද 2015 හා 2016 යන වර්ෂයන්හි එක ජයග්‍රහණයක් හෝ නොමැතිවද අවසන් ස්ථාන හිමි කරගෙන සිටි නමුත් මෙවර ජයග්‍රහණ දෙකක් හා තවත් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්කොට මේ වන විට පස්වැනි ස්ථානයේ රැඳී සිටීම එම ආශ්වාදයට හේතුව ලෙස පෙන්වා දිය හැකිය.

මෙවරද දැනට සහභාගි වූ තරග හයම ජයගෙන මහනුවර පිල අපරාජිත එකම කණ්ඩායම ලෙස ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටින අතර එක් තරගයක් පරාජය වූ හැව්ලොක් පිල දෙවන ස්ථානයේත්, තරග දෙකක් පැරදුණ නාවික හමුදාව තෙවන ස්ථානයේත් රැඳී සිටිති.

සීවලී එදිරිවීර