ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ 2017/21 කාල සීමාව වෙනුවෙන් නව නිලධාරි මණ්ඩලය තෝරා ගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීමට පස්වැනි උත්සාහය ලෙස යොදා ගන්නා ලද එළඹෙන දෙසැම්බර් 18 වැනිදා ද එය නොපැවැත්වෙන බව මේ වන විට තහවුරු වී ඇත.

මෙවර එය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ තනතුරු 34 ක් වෙනුවෙන් භාර දී තිබූ නාම යෝජනාවන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද විරෝධතාවන් ඉතිහාසගත දින 23 ක දීර්ඝ කාලයක් වැයකරමින් පරීක්ෂා කොට පාපැදි නිලවරණ කමිටුව විසින් ලබාදුන් නිර්දේශයන් තුළින් මතු වූ පරස්පර විරෝධීභාවය  නිසා වැඩි දෙනකු නිලවරණ කමිටු නිර්දේශයන්ට එරෙහිව ක්‍රීඩා ඇමැතිවරයාට අභියාචනා ඉදිරිපත් කරන ලද බැවිනි.

නිලවරණ කමිටුව පළමුව ලඝු කොට “පිළි නොගනී” ලෙස නිර්දේශ ලබා දී තිබු නාම යෝජනාවන් පිළිබඳ ඔවුන් විසින්ම විස්තරාත්මකව නිකුත් කර ඇති දෙවන වාර්තාවේ  අදාළ නාම යෝජනාව පිළිගත හැකි බවට සහතික කර තිබිමෙන් කමිටු තීරණවල ඇති පක්ෂග්‍රාහී හා වංකභාවය පැහැදිලිව දක්නට ඇති බව පැවසේ.

මේ හේතුව නිසා ඉදිරිපත් කර ඇති එම අභියාචනා පිළිබඳ ක්‍රීඩා ඇමැතිතුමන්ගේ නිර්දේශ ලබාදෙනතුරු දින නියමයක් නැතිව නිලවරණය කල් දමන ලද බව පාපැදි සම්මේලනයේ ‍ලේකම්වරයා නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය වෙනුවෙන් අදාළ නිලවරණය අගෝස්තු 31 වැනිදින පැවැත්වීමට පළමුව තීරණය කර තිබූ අතර ඡන්ද නාම ‍ලේඛන ගැටලු මතුවීම නිසා එය වරින්වර කල් දමන ලද අතර මෙවර සිව්වැනි වරට කල් දමා ඇත්තේ අබියාචනාවන්ට ක්‍රීඩා ඇමැතිවරයාගේ නිර්දේශ ලැබි නැති බැවිනි.

අගෝස්තු 31 පැවැත්වීමට තීරණය කර තිබූ නිලවරණය නොවැම්බර් 12 දින ද පසුව නොවැම්බර් 16 ටද, පසුව නොවැම්බර් 30 දක්වාද අවසානයේ දෙසැම්බර් 18 දක්වාද කල් ගිය අතර මේ වන විට කල්දමා ඇත්තේ එය පවත්වන දිනයක්ද නොමැතිවය.

කෙසේ වුවත් මෙම කල් දැමීම් ඔස්සේ නව වසර සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය අවුල් වන අතරම ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත සිව්දින පාපැදි තරගය හා අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත ඊ ඛිභන ජාත්‍යන්තර තරගය ද සංවිධානය කිරීමේ දී බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකි බැවින් මේ වසර ඉක්ම යන්නට පෙර නිලවරණය පැවැත්වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් බව ක්‍ෂේත්‍රයේ වැඩි දෙනකුගේ අදහසය.

සීවලී එදිරිවීර