ඉන්දීය එක්දින තරගාවලිය සඳහා ධනංජය ද සිල්වා නම් කර සිටියද ඔහුට තෙවැනි ටෙස්ට් තරගය අතරතුර (පිතිකරණයේදී) ඇතිවූ ආබාධය නිසා පෙරළා අද (13) පැමිණීමට නියමිත බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි රිවිට පැවසීය. කෙසේ වුවද ධනංජය ද සිල්වා වෙනුවෙන් අලුත් ක්‍රීඩකයකු සංචිතයට ඇතුළත් කිරීමට අදහස් නොකරන බවත් එළැඹෙන ඕවර විස්ස-20 තරගාවලියට ක්‍රීඩකයන් එක්වෙන නිසා අවශ්‍යතාවක් වෙතොත් ක්‍රීඩකයකු ඇතුළත් කිරීමට හැකියාව ඇති බවද ලැබ්රෝයි පැවසීය.

මේ අතර අද (13) මොහාලිහිදී ඇරඹෙන දෙවැනි එක්දින තරගය සඳහා සුරංග ලක්මාල් නැවත් ක්‍රීඩා කරනු ඇතැයි පැවසේ. ලක්මාල් ප්‍රථම තරගයේ වීරයා වෙමින් හොඳම පන්දු යැවීම වාර්තා කළ ද යම් රෝගී තත්ත්වයක පසුවුවත් එය අද තරගයට බාධාවක් නොවන බව වාර්තා වේ. ප්‍රථම තරගය කඩුලු හතක විශිෂ්ට ජයක් ලැබිම නිසා ශ්‍රී ලංකා පිල වඩාත් විශ්වාසයෙන් අද තරගයට අවතීර්ණ වන අතර ඉන්දීය පිල ලැබූ පරාජය නිසා වඩාත් සැලසුම් සහගතව මෙම තරගයට ඒමටද අදහස් කර ඇත.

ඉන්දීය වාර්තාවලින් පැවසෙනුයේ අද තරගයට වර්ෂාව නිසාවෙන් බාධා ඇති විය හැකි බවයි. කෙසේ වුවද තරගය දිවා/රාත්‍රී තරගයක් වුවද නියමිත වේලාවට වඩා පැය දෙකක් කලින් ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.30 ඇරඹීමට නියමිතය.

ධරම්ශාලාහි ප්‍රථම තරගයෙන් පසුව පැවැති අයහපත් කාලගුණය නිසා දිනක් ප්‍රමාද වී ඊයේ මොහාලි වෙත ශ්‍රී ලංකා පිලට ඒමට සිදු වූ බවද වාර්තා වේ.

ධම්මික රත්නවීර