ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තාක්ෂණ නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලද පරීක්ෂණයෙන් සමත් වූවන්ට සම්මාන ප්‍රදානය කිරීම පසුගියදා කොළඹ ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතන ශ්‍රවණාගාරයේදී හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී සිව්වැනි ශ්‍රේණියේ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගනිමින් සමත් වූ අපේක්ෂකයාට ප්‍රදානය කරන මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අභියෝග කුසලානය දිනා ගන්නට චිරන්තිකා කළුපහන මෙනෙවිය සමත් වූවාය.

ඇය එම පරීක්ෂණයේදී ලකුණු 94ක් රැස් කර ගැනීමට සමත් වූ අතර එහි දෙවන ස්ථානයද කාන්තාවකට හිමි කර දෙමින් ටී.එල්.ආර්.එස්. කුලරත්න මෙනෙවිය ලකුණු 91ක් රැස් කර තිබිණි.

ඒ.ටී. නුගේගොඩ අභියෝග කුසලානය ප්‍රදානය කළ තෙවැනි ශ්‍රේණියේ පරීක්ෂණයේදී ලකුණු 88ක් ලබාගත් එස්. මයුරන් මහතාට එම කුසලානය හිමි විය. එහි දෙවැනි ස්ථානය හිමිව තිබුණේ ලකුණු 83ක් ලැබූ රුවන් චතුරංග කුලරත්නටය.

මේ අතර ප්‍රේමා පින්නවල අභියෝග කුසලාන පිරිනැමූ දෙවැනි ශේ්‍රණියේ පරීක්ෂණයේදී ජී.ජී.ඒ.සී. රණසිංහ මහතා ලකුණු 95ක් රැස් කර තිබූ අතර එහි දෙවන ස්ථානය එස්. සිවපාරන් මහතාට හිමිව තිබුණේ ලකුණු 90ක් ලබා ගනිමිනි.

ටිරෝන් ගමගේ හා ඩී.ඩබ්ලිව්.එම්. නිම්මාන ලකුණු 89ක් බැගින් ලබා ගනිමින් පළමු ශ්‍රේණියේ පරීක්ෂණයේදී පිරිනැමූ පී.එච්.ඩී. වෛද්‍යතිලක  අභියෝග කුසලානයට සම සේ හිමිකම් කීහ.

එහි දෙවැනි ස්ථානය කේ.ඩබ්ලිව්.ඩී.ටී.එස්. ධර්මසේන හිමිකරගෙන තිබුණේ ලකුණු 88ක් සහිතවය.
මීට අමතරව ගෙවී ගිය වසර 50ක කාලය තුළ තාක්ෂණ නිලධාරීන් ලෙස මෙරට මලල ක්‍රීඩාවේ දියුණුවට දායක වූ කේ.එල්.එෆ්. විජේදාස, එම්.ටී.එම්. පෙරේරා, වී.ටී. සිවලිංගම්, ඔස්ටින් ඒ. ප්‍රනාන්දු යන මහත්වරුන් හා එල්. දිසානායක හා ශාන්ති ද ආබෘෘ යන මහත්මීන්ට විශේෂ සම්මාන ප්‍රදානය කරනු ලැබිය.

සීවලී එදිරිවීර