ගොඩකවෙල ‍පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලෙබැද්ද, අඹේතැන්න ප්‍රදේශයේ කුලියට කුරුඳු තැළීමට පැමිණි ඥාතීන් දෙදෙනකු අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් එක් අයෙකු තියුණු ආයුධයකින් අනෙකාගේ හිස ගෙල ප්‍රදේශයෙන් වෙන්වන පරිදි කපා, වැසිකිළියට දමා තිබියදී ‍පොලිසිය සොයාගෙන ඇත.

පෙරේදා (05) රාත්‍රී කාලයේදී මෙම ඝාතන සිද්ධිය වී ඇතැයි ගොඩකවෙල ‍පොලිසිය සඳහන් කරයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අහුංගල්ල, වනගල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි ලක්මාල් රණතුංග නමැති අයෙකි.

මෙම පුද්ගලයා ඔහුගේම ගම් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිය නැගණියගේ සැමියා සමග කුලියට කුරුඳු තැළීම සඳහා පල්‍ලේබැද්ද, අඹේතැන්න ප්‍රදේශයට පැමිණ ඇත.

කුරුඳු තැළීම සඳහා සකසා තිබූ මඩුවක මෙම පුද්ගලයින් දෙදෙනා නවාතැන්ගෙන සිට ඇතැයි ‍පොලිසිය පවසයි. සැකකරු මෙම පුද්ගලයාගේ හිස ගෙල ප්‍රදේශයෙන් තියුණු ආයුධයකින් කපා වෙන්කර වැසිකිළියට දමා, අතක කොටසක් සහ පාදයක කොටසක්ද කපා දමා ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට ගොඩකවෙල ‍පොලිසිය මෙහෙයුමක් අරඹා ඇත.

මෙම සිද්ධිය පිළිබඳව ගොඩකවෙල ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සාලිය කුමාර ගුණසේකර