ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටිය මැද දී සැලසුම් නියම ලෙස ඉටු කිරීම ගැන ඔවුන්ට ගෞරව හිමිවිය යුතු අතරම පුහුණුකාර මණ්ඩලයට ද විශේෂ ස්තුතියක් පිදිය යුතු බව තෙවැනි ටෙස්ට් තරගය වඩාත් උසස් ලෙස නිම කිරීමෙන් පසුව නායක දිනේෂ් චන්දිමාල් පැවසීය. චන්දිමාල්ගේ සටන්කාමී පිතිහරඹය නිසා ඔහු තෙවැනි ටෙස්ට් තරගයේ වඩාත්ම දක්ෂ ක්‍රීඩකයා ලෙස විශේෂ සම්මානයක් ද ලැබිය.

ඇත්තටම වඩාත් සතුටු වෙන්න පුළුවන් තරගාවලියක්. දෙවැනි ටෙස්ට් ශතකය හැරුණ විට අපි හොඳින් ක්‍රීඩා කළා. රංගන ආබාධයකට පත් වූ විට සියලු දෙනා ඇන්ජලෝ මැතිව්ස් ගැන බලා‍පොරොත්තු තැබුවා. වඩාත් පීඩනය මැද ධනංජය හා රොෂේන් විශිෂ්ට පිතිකරණයක යෙදුණා. ඉන්දිය සුපිරි වේග පන්දු බල ඇණිය හමුවේ ඔවුන්ගේ ක්‍රියාත්මක වීම වඩාත් හොඳයි. දික්වැල්ල ඔහුටම ආවේණික වෙනස් ආකාරයක ක්‍රීඩකයෙක්. අවසන් දිනයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ක්‍රියාත්මක වීම ගැන වඩාත් සතුටුයි යනුවෙන් පැවසූ චන්දිමාල් මීට පෙර ශ්‍රී ලංකාවේ දී පැවැති ඉන්දීය තරගාවලියේ දී කරනු ලැබූ දුර්වලතා තුළින් බොහෝ දේ ඉගෙන ගත් බව මතක් කරනු ලැබුවේය. ඇත්තටම මට ලකුණු අතරට පැමිණීමේ දී වඩාත් කැපවීමෙන් ක්‍රීඩා කළා. මගේ පිතිකරණයේ තාක්ෂණික වෙනස් කිරීම් පිතිකරණ පුහුණුකරු සමග සාකච්ඡා කරමින් සිදු කරනු ලැබුවා. වඩාත් අභියෝගාත්මක තරගයක්. මුල් දින දෙකෙහි පැවැති වායු දූෂණය තුළ යම් කිසි පසුබැසීමක් තිබුණත් අපි සාකච්ඡා කර එම තත්ත්වයට හොඳින් මුහුණ දෙමින් තරගයට අවතීර්ණ වූ බව ද චන්දිමාල් පැවසීය.

ධම්මික රත්නවීර