ලෝකය සිලෝන් එසේ නැත්නම් ශ‍්‍රී ලංකාව නම් කොදෙව්ව පිළිබඳ පළමුව දැනගත්තේ ප‍්‍රණීත තේ නිසාය. දෙවනුව ක‍්‍රිකට් නිසාය. ඒ 1996 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සුපිරි ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පරාජයට පත්කොට ලෝක කුසලානය දිනා ගැනීමත් සමගය. එකල ක‍්‍රිකට් ලෝකයේ පතාක යෝධයකු පරාජයට පත් කරමින් කිසිවකු එතරම් මායිම් නොකළ ලිලිපුට්ටන් පිරිසක් ලද ජයග‍්‍රහණය නිසා ජාත්‍යන්තර මාධ්‍ය අවධානය අපේ රටට යොමු විය.

අනතුරුව ශ‍්‍රී ලංකා නාමය ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල මුල් රටවල් අතර හැම විටම පාහේ සනිටුහන් වූ අතර වසර කිහිපයක් තිස්සේ ලෝක මට්ටමේ තරගාවලි ගණනාවක අනුශූරයන් බවට පත්විය. 2014 විස්සයි -20 ලෝක ශූරයන් බවට පත්විය. කෙසේ වුව ද තේ නිසා ශ‍්‍රී ලංකාවට හිමි වූ කීර්ති නාමය මෙන්ම ක‍්‍රිකට් නිසා හිමි වූ කීර්ති නාමය ද මේ වන විට වියැකි යමින් තිබේ.

තේ නිසා ශ‍්‍රී ලංකාවට හිමි වූ කීර්ති නාමය මේ වන විට කසල තේ ජාවාරම්කාරයින් විනාශ කරන අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනාශ කරන්නේ පිල් බෙදී කා කොටා ගන්නා ක‍්‍රිකට් පරිපාලනය බව පැහැදිලිය. ලෝක කුසලානය දිනාගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම අද ටෙස්ට් ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි තැනට ද එක්දින  සහ විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි තැනටද පත් වන්නේ එහි ප‍්‍රතිඵලය ලෙසය. 2014 විස්සයි -20 ලෝක කුසලානය කණ්ඩායම වසර තුනක් ඇතුළත 8 වැනි තැනට පත්ව තිබේ.

කිසියම් කාලයක ඉහළම දක්ෂතා දක්වමින් ක‍්‍රීඩා කරන කණ්ඩායමක් තවත් කාලයක දුර්වල ලෙස ක‍්‍රීඩා කළ හැකිය. ජයග‍්‍රහණ ලැබූ ආකාරයටම පරාජයන් ද ලැබිය හැකිය. එය කිසිම ගැටලූවක් නොවේ. එහෙත් පරාජය විය යුත්තේ වෘත්තීය කණ්ඩායමක් ලෙස හොඳ තරගයක් ලබා දෙමිනි. පසුගිය කාලය පුරා එවැනි පරිණත ක‍්‍රීඩා විලාසයක් අපේ කණ්ඩායම ප‍්‍රදර්ශනය කළේ නැත.

එවැනි අවස්ථාවක ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් වඩා විධිමත් ලෙස පරිපාලන කටයුතු මෙහෙයවමින් කණ්ඩායම මානසිකව ශක්තිමත් කොට සුපුරුදු දක්ෂතා අතරට ගෙන ඒමට කටයුතු කළ යුතු වුව ද ඔවුන් කරමින් සිටින්නේ එහි අනිත් පැත්තය. ඉන්දියාවේ එක්දින ක‍්‍රිකට් තරග සංචාරයක් සඳහා පිටත් වූ ශ‍්‍රී ලංකා එක් දින කණ්ඩායමට පසුගියදා මුහුණපෑමට සිදුවූ අලකලංචියෙන් තහවුරු වන්නේ එයයි.

එම කණ්ඩායම තරග තුනකින් සමන්විත ඉන්දියානු තරග සංචාරයක් සඳහා පිටත් වීමට පසුගිය සඳුදා රාත‍්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණිය ද සිදු වූයේ ආපසු නිවෙස් බලා යාමටය. ඊට හේතුව ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගෙන කණ්ඩායම තරග සංචාරයක් සඳහා යොමු කිරීමය.

ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නොව  ඕනෑම ජාතික කණ්ඩායමක් තරග සංචාරයක් සඳහා විදෙස් ගත වන්නේ නම් ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතුය. එම අනුමැතිය ලබා ගැනීම කළ යුත්තේ ආයතන බලධාරීන් මිස ක‍්‍රීඩකයන් නොවේ. එහෙත් ක‍්‍රිකට් බලධාරීන් නිසි ලෙස එම අවසරය ගෙන නැත. එහි වරද ක‍්‍රිකට් බලධාරීන් අතය. නමුත් දඬුවම් ලැබීමට සිදුව ඇත්තේ ක‍්‍රිකට් කණ්ඩායමටය. එය අපූරු කැකිල්ලේ තීන්දුවකි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන ප‍්‍රධානියා ද පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායම තරග සංචාරයක් සඳහා පිටත්ව යන බව තමන් ද නොදැන සිටි බවය. මේ අනුව ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායම විදෙස් තරග සංචාරයක යෙදෙන බව ක‍්‍රීඩා ඇමතිවරයා පමණක් නොව ක‍්‍රිකට් ආයතන ප‍්‍රධානියා ද දැන සිට නැත. මෙය නම් පුදුම හතර බීරි කතාවකි. මේ හතර බීරි කතා මැද අවසානයේ කණ්ඩායම ඉන්දියාව බලා පිටත් වී ඇත්තේ අඟහරුවාදා රාත‍්‍රීයේය.

ඒ කුමන හේතුවක් නිසා හෝ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු කරන්නේ මෙවැනි නොසැලකිලිමත් ආකාරයට නම් එවැනි ක‍්‍රිකට් පරිපාලනයක් සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මේ තරමින් හෝ ඉතිරි වී තිබීම පිළිබඳ රටවැසියා සතුටු විය යුතුය. ක‍්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳ දමන මෙවැනි පිරිසක් යටතේ ජයග‍්‍රහණ පැතීම උඳු වපුරා මුං පැතීමකි. නැතහොත් ඊටත් වඩා මෝඩකමකි.

තරග සංචාරයක් සඳහා නිසි අවසරය ලබා ගැනීම පවා සිදු නොකරන අක‍්‍රමවත් ක‍්‍රිකට් පරිපාලනයක් ක‍්‍රීඩකයන්ගේ සෙසු අවශ්‍යතා සපුරාලමින් රටට ජයග‍්‍රහණ ගෙන ඒමට කටයුතු කරන්නේ යැයි සිතීම ද විහිළුවකි. එහෙයින් දැන්වත් මේ ආයතනවල පවතින දුර්වලතා සොයා බලා ඒවා නිසි ලෙස ක‍්‍රියාත්මක වන තැනට කටයුතු කරන්නට ඉහළ බලධාරීන් වගබලා ගත යුතුය. මේ අත්තනෝමතික හැසිරීම පිටුපස සිටින වැරදිකරුවන් හඳුනා ගෙන ඔවුන්ට නිසි දඬුවම් ලබා දිය යුතුය. එසේ නොවීම අනාගතයේ මීට වඩා වැරදි කිරීමට අනුබල දීමකි.