පස්සර, ගනවැරැල්ල,අම්පිටිය විහාරස්ථානය ආසන්නයේදී පස්සර ‍පොලිසියට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක සෙබළකුගේ හිසට ‍පොල්ලකින් පහරදුන් හමුදා සෙබළකු අත්අඩංගුවට ගැනීමට බදුල්ල ‍පොලිස් නිල සුනඛ ඒකකයට අනුයුක්තව කටයුතු කරන ඩස්ටි නමැති නිල සුනඛයාට හැකිවී ඇත.

මෙම පහරදීමේ සිද්ධිය පෙරේදා (05) සිදුවී ඇතැයි ‍පොලිසිය සඳහන් කරයි.
මෙම සිවිල් ආරක්ෂක සෙබළා සිය නිවසේ සිට රාජකාරි ස්ථානය බලා යතුරුපැදියෙන් යමින් සිටියදී කැලෑ ප්‍රදේශයේදී පුද්ගලයකු මඟරැක සිට ඔහුගේ හිසට ‍පොලු පහරක් එල්ල කර ඇත.එම පහරදීමෙන් සිවිල් ආරක්ෂක සෙබළාගේ යතුරුපැදි හිස්වැසුමට දැඩි අලාභහානි සිදුවී ඇති අතර, ‍පොලු පහර වැදීමෙන් ඔහු රෝහල්ගත කෙරිණි.

මෙම සිද්ධිය පිළිබඳව පස්සර ‍පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබිය.
නමුත් සැකකරු පිළිබඳව නිසි තොරතුරක් නොලැබිම හේතුවෙන් බදුල්ල ‍පොලිස් නිල සුනඛ ඒකකයේ ඩස්ටිනැමති නිල සුනඛයා එම ස්ථානයට කැඳවන ලදී. මෙම නිල සුනඛයා මෙහෙයවීමේ කටයුතු ‍පොලිස් කොස්තාපල් (23691) ප්‍රියන්ත මහතා සිදුකරන්නේය. මෙම වැටලීම සඳහා එම ඒකකයේ ‍පොලිස් සැරයන් (29049) රවීන්ද්‍රනාත් මහතාද සහභාගිවිය.

ඩස්ටි නමැති ‍පොලිස් නිල සුනඛයා පහරදීම සිදුවූ ස්ථානයේ වැටී තිබූ සැකකරුගේ සෙරෙප්පුවක් ඉවකර මීටර් 250 ක් පමණ ඉදිරියට ගියේය. අතරමඟ නවතා තිබූ කොළ පැහැති ත්‍රී රෝද රථයක් අසල ඩස්ටි නැවතුනු අතර, එය සැකකරුගේ විය හැකි බවට ‍පොලිසිය තහවුරු කරගන්නා ලදි.

මෙම පහරදීම හමුදා සෙබළකු විසින් සිදුකර ඇති අතර ඔහු වහා අත්අඩංගුවට ගැනීමට ‍පොලිසිය කටයුතු කරන ලදී.
වෙනත් අයකුට පහරදීමට බලා‍පොරොත්තුවෙන් සිටි බවත්, සිවිල් ආරක්ෂක සෙබළාට පහර දුන්නේ වැරදීමකින් බවත් යුද හමුදා සෙබළා ‍පොලිසිය හමුවේ පා‍පොච්ඡාරණය කර ඇත.

මේ සම්බන්ධව පස්සර ‍පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
‍පොලිස් නිල සුනඛ ඩස්ටි මහනුවර, අස්ගිරිය ‍පොලිස් නිල සුනඛ ඒකකයේදී එහි අධ්‍යක්ෂක ‍පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පුහුණුවීම් ලබා ඇත.

සාලිය කුමාර ගුණසේකර

Untitled-2