මෙවර අයවැය යෝජනාවලිය පිළිබඳ අපි මේ තීරුවෙන් කිහිප වරක් සාකච්ඡුා කළෙමු. එහි දී අපේ අවධානය බෙහෙවින් යොමු වූයේ බියර් මිල පහත හෙළීම සහ සිගරට් ආනයනයට අවසර ලබා දීම පිළිබඳවය. විශේෂයෙන් බදු ආදායම ඉහළ නංවා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස අරක්කු සිගරට් ප‍්‍රවර්ධනය ඔස්සේ කිසිදු ආර්ථික වාසියක් නොලැබෙන බව අපි පෙන්වා දුනිමු. ඒ කිසියම් වසරක අරක්කු සහ සිගරට් බදු ආදායම අරක්කු සිගරට් පානය කිරීම නිසා හටගත් රෝගාබාධවලට ප‍්‍රතිකාර කිරීම සඳහා රජය දරන වියදමට වැඩි හෙයිනි.

එසේම අරක්කු සිගරට් පානය නිසා මතු වන වෙනත් සමාජ සංස්කෘතික ගැටලූ සලකා බලන කල මෙහි අවාසිය හුදු රුපියල් ශතවලින් මැනිය නොහැකි බව පැහැදිලි වෙයි. එපමණක් නොව එය ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට මෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයාගේ වැඩපිළිවෙළට අනුගත නොවෙයි. එහෙයින් මෙය සුදුසු යෝජනාවක් නොවන බව අප ප‍්‍රකාශ කළෙමු. පසුගිය දා ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කර ඇත්තේ ඒ හා සමාන අදහසකි.

අයවැය යෝජනා මගින් ඉදිරිපත් කළ බියර් සඳහා වන සහන ලබා දීම නුසුදුසු බවත් සිගරට් ආනයනයට අවසර දීමට කිසිසේත් එකඟ විය නොහැකි බවත් 2018 සෞඛ්‍ය වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කොට තිබේ. රාජ්‍ය ආදායම් ප‍්‍රවර්ධනය සඳහා සිගරට් අරක්කු මගින් ආදායම් කිසිසේත් බලාපොරොත්තු නොවිය යුතු බව ජනාධිපතිවරයා තව දුරටත් ප‍්‍රකාශ කර තිබේ. එහි සරල අර්ථය සිගරට් අරක්කු ප‍්‍රවර්ධනය නොකළ යුතු බවය. ඒ සඳහා රජය අනුබල දිය යුතු නැති බවය. පසුගිය දා සෞඛ්‍ය ඇමැතිවරයා ද ප‍්‍රකාශ කොට තිබුණේ ඒ අදහසමය.

බියර් මිල පහත හෙළීම ඔස්සේ සැර මත්පැන් සඳහා හුරු වී ඇති පිරිස බියර්වලට යොමු වනු ඇතැයි එම යෝජනාවට පක්ෂ අය ප‍්‍රකාශ කළ ද එය හිතලූවක් පමණි. අරක්කු බදු ඉහළ නංවා එහි මිල ඉහළ දැමූ පමණින් අරක්කු පානයට හුරු වූ පිරිස කිසිසේත් බියර්වලට යොමු වන්නේ නැත. බියර් වැනි සැර අඩු පානයකින් ඔවුන් තෘප්තියට පත් කළ නොහැකිය. මෙලෙස බියර් මිල පහත හෙළීම නිසා සිදුවිය හැක්කේ අලූත් බේබදු පරම්පරාවක් බියර් ඔස්සේ බිහි වීම පමණි. ඇතැම් විට අපේ රටේ කාන්තා පරපුර ද මේ ඔස්සේ මතට ඇබ්බැහි විය හැකිය.

සැබවින්ම බියර් පානය කරන්නේ රටේ ඉහළ පැලැන්තියේ කණ්ඩායම්ය. සාමාන්‍ය කම්කරුවන් සහ ජනතාව පානය කරන්නේ අරක්කුය. එම අරක්කු මිල අධික ලෙස ඉහළ නැංවීම නිසා සිදුවන්නේ ජනතාව නීති විරෝධි කසිප්පු වැනි පානයන් වෙත යොමු වීමය. මේ නීති විරෝධී කසිප්පුවල කිසිදු ප‍්‍රමිතියක් නොමැති අතර ඒවා පානය කිරීම අරක්කු පානය කිරීමට ද වඩා භයානකය. මේ නිසා අරක්කු පානයෙන් හට ගන්නා සෞඛ්‍ය ගැටලූවලට වඩා ගැටලූ ඇති විය හැකිය. එය වසරේ සෞඛ්‍ය වියදම තවත් ඉහළ යාමට හේතුවෙයි. ජනතාව කසිප්පුවලට යොමු වීම නිසා අරක්කුවලින් ලැබුණු බදු ආදායම ද ආණ්ඩුවට අහිමි වෙයි.

එහෙයින් සාමාන්‍ය ජනතාව පානය කරන අරක්කු මත අධික ලෙස බදු ගැසීම මගින් මෙන්ම බියර් සඳහා බදු සහන ලබා දීම මගින් අපේක්ෂිත යැයි රටට කියන අරමුණු ළඟා කර ගත නොහැකිය. කෙසේ වුවද වෙනත් ප‍්‍රතිඵල නම් ලැබිය හැකිය. විශේෂයෙන් යටත්විජිත පාලකයන් සිංහලයා අරක්කු පානයට ඇබ්බැහි කරගත්තේ මුල දී ඒවා නොමිලේ ලබා දීමෙන් බව ද මතට ඇබ්බැහි වූ සිංහලයා කුඹුරේ අස්වැන්න පවා උකසට තබා අරක්කු බීමට ඇබ්බැහි වූ බව ඇතැම් සුදු සිවිල් සේවකයන් පවා වාර්තා කර ඇත්තේ මහත් සංවේගයෙනි. බියර් සහනය ලබා දීම ඔස්සේ ද සිදු වන්නේ එවැනි දෙයක් පමණි. ඒ යථාර්ථය හමුවේ ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය අතිශය වැදගත්ය. ඒ අනුව 2018 අයවැය යෝජනාවලියෙන් බියර් සහන සහ සිගරට් ආනයන අවසර යෝජනා ඉවත් කර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.