ජාතික පුහුණුකාරිනිය තෝරා ගැනීම පිණිස පසුගියදා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය අනුගමනය කළ ක්‍රියාවලිය මුල සිට අග දක්වාම 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට මෙන්ම දැල්පන්දු ව්‍යවස්ථාවටද සම්පූර්ණයෙන්ම පටහැනි බවත්, එමගින් මෙරට සිටින සියලුම දැල්පන්දු පුහුණුකාරිනියන්ට බලවත් අසාධාරණයක් සිදුවී ඇති බවත් එම නිසා එම අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටුකර දීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බවත් ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා රිවිරට ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ ප්‍රශ්නයට තුඩුදී ඇති සම්මුඛ පරීක්ෂණයට සහභාගි වූ හිටපු ජාතික පුහුණුකාරිනියක වන හයිසින්ත් විජේසිංහ මහත්මිය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද විරෝධතාව වෙනුවෙන් ඊයේ (05) පැවති විමර්ශනයේදී ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙමිනි.

‘මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම් ලිපි යැවීම දැන්වීම ආදී සෑම කටයුත්තක්ම සිදුකර ඇත්තේ සම්මේලනයේ සාමාජිකාවන් තිදෙනකු විසිනුයි. එවකට සම්මේලනයේ සෙසු නිලතල පවා සම්පූර්ණ වී තිබි නැහැ. මෙවැනි කටයුත්තකට අවම වශයෙන් පස්දෙනකු සිටිය යුතුයි. එතැන් සිටම සභාපතිනිය කටයුතු කර ඇත්තේ තමන් කැමති අයකු තෝරා ගැනීමට බව පැහැදිලියි. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පුහුණුකාරිය තෝරා ගැනීම සඳහා ලබාදී තිබූ නිර්ණායකවල වරදක් නැහැ. නමුත් සභාපතිතුමිය තමන්ගේ අභිමතය පරිදි එම නිර්ණායක පවා වෙනස්කර තිබෙනවා.

ඒ නිසා මෙම විමර්ශනයට අනිවාර්යයෙන්ම සභාපතිනිය සහභාගි කරගත යුතුයි. නමුත් ඇය විදෙස්ගත වී විමර්ශනය මගහැර සිටිනවා. සභාපතිනිය නැතිව විමර්ශනය සිදු කිරීම ස්වභාවික මූලධර්මවලටත් පටහැනියි. ‍ලේකම් අත්සන් කළ යුතු ‍ලේඛනවලටත් අත්සන් කරල තියෙන්නේ සභාපතිතුමියයි. ඇය ඒකාධිපතිනියක් ලෙස කටයුතු කරනවා. පසුගිය නොවැම්බර් 14 වැනිදා පැවති විමර්ශනයේදී විමර්ශන නිලධාරීතුමා කීවේ සති දෙකක් ඇතුළත සභාපතිනිය ලංකාවට ගෙන්වා මෙම පරීක්ෂණය අවසන් කරන බවයි. නමුත් ඇය තවමත් ලංකාවට ඇවිත් නැහැ. ඒ නිසා ඇය පැමිණි පසු විමර්ශනය කරමු කියල අපි ඉල්ලීමක් කළා. ක්‍රීඩා අමාත්‍යාංශයට ඇය නොමැතිව විමර්ශනය කරලා අවසන් කිරීමේ අවශ්‍යතාවක් ඇතිවී තිබෙනවා. තවම පුහුණු කරන්න සංචිතයක්වත් නැතිව පුහුණුකාරිය තෝරන්න තියෙන හදිස්සිය මොකක්ද දන්නෙ නැහැ. මොනව වුණත් නියම ක්‍රමවේදයට අනුව විමර්ශනයක් නොකොට තීරණයකට එළැඹුණහොත් අපි අධිකරණයේ පිහිට පතන්න බලා‍පොරොත්තු වෙනවා’ යනුවෙන් එතුමා අවසන් වශයෙන් සඳහන් කළේය.

සීවලී එදිරිවීර