තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 410 හඹා යන ශ්‍රී ලංකා පිල සිව්වැනි දිනය අවසානයේ ඊයේ (05) දිල්ලි ක්‍රීඩා තණතිල්‍ලේ දැඩි පීඩනයකට පත් වූයේ කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 31ක් ලැබූ හෙයිනි. ඉන්දීය ක්‍රිකට් පිලට වඩා ලකුණු 163ක් පිටුපසින් ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ලකුණු 373කට දැවී ගිය අතර ඉන්දීය පිල කඩුලු 5ට ලකුණු 246ක් ලබා ශ්‍රී ලංකා පිලට අසීරු ඉලක්කයක් කරා යාමේ අවකාශ සකසා දීමට නායක විරාත් කෝලි තීරණය කළේ 1-0 ලෙස දැනට ඉදිරියෙන් සිටින තරගාවලිය 2-0 ලෙස ජය ගැනීමේ අදිටනිනි.

ඊයේ උදෑසන ඕවර 5.3කට මුහුණ දුන් ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමේ අවසන් කඩුල්ල ලෙස නායක දිනේෂ් චන්දිමාල් තම ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය වූ ලකුණු 164ක් ලබා දැවී ගියේ පන්දු 361කට මුහුණ දී 4 පහර 21ක් හා හයේ පහරක් සමගිනි. කෙසේ වුවත් චන්දිමාල් සමගින් පන්දු 20කට මුහුණ දෙමින් ලකුණු නොලබා තම අන්තය රැකගැනීමට ලක්ෂාන් සඳකැන් සමත් විය.

ඉන්දීය දෙවැනි ඉනිම සඳහා ශිකර් ධවාන් සහ මුරලි විජේ හොඳ සබඳතාවකට යාම මග හැරුණේ සුරංග ලක්මාල් විජේගේ කඩුල්ල තමාගේ දෙවැනි ඕවරයේදීම ලකුණු 9ට ලබා ගත් හෙයිනි. අජින්ක්‍යා රහනේ පිතිකරු උසස්වීමක් ලැබ අංක තුන පිතිකරු ලෙස පැමිණිය ද ලකුණු 10කට දැවී ගියේ දිල්රුවන් පෙරේරාට ගොදුරු වෙමිනි. චෙටෙස්වාර් පුජාරා ලකුණු 49ක් ලැබ සිටිය දී ධනංජය ද සිල්වාගේ ප්‍රථම කඩුල්ල ලෙස දැවී ගියේ මැතිව්ස් ස්ලිප්හි සිට දක්ෂ උඩපන්දුවක් රැකගැනීමෙනි. පුජාරා සහ ධවාන් තෙවැනි කඩුල්ලට ලකුණු 77ක් රැස් කළ අතර ධවාන් ලකුණු 67ක් රැස් කිරීමට සමත් විය.

දිවා භෝජනයෙන් පසුව ඉන්දීය පිතිකරුවන් ඉක්මනින් ලකුණු ලැබිමට යුහුසුළු වූ අතර නායක විරාත් කෝලි නැවතත් පන්දු 58කින් ලකුණු 50ක් ලැබිමෙන් පසු ලහිරු ගමගේ හමුවේ දැවී ගියේය. කෙසේ වුවත් රෝහිත් ෂර්මා අර්ධ ශතකය සම්පූර්ණ කිරීමත් සමග ඉන්දීය පිල ඉනිම අත්හිටුවූයේ ශ්‍රී ලංකා පිලට තර්ජනාත්මක ඉලක්කයක් ලබා දෙමිනි.

එය අයහපත් ආලෝකය නිසා තරගය අතරමග නැවතීමේ දී කඩුලු 3ට ලකුණු 31ක් බවට පත්වීම ශ්‍රී ලංකා පිලට ලොකු පීඩනයක් ගෙන දුන්නේ අද දිනයේ ජයග්‍රහණයට තවත් ලකුණු 379ක් කඩුලු 7ක් තුළ ලැබිය යුතු හෙයිනි.

ආරම්භක පිතිකරු යුගලය සධීර සමරවික්‍රම (ලකුණු 5), දිමුත් කරුණාරත්න (ලකුණු 13) ලබා දැවීගිය පසු සැඳෑ පිතිකරු වූ සුරංග ලක්මාල් ද ජඩේජා එවූ පස්වැනි ඕවරයේ දෙවැනි කඩුල්ල ලෙස දැවී යාම නිසා මේ වන විට ධනංජය ද සිල්වා ලකුණු 13ක් ද මැතිව්ස් ලකුණු නොලබා ද කඩුල්‍ලේ රැඳී සිටී.