ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිල ඉන්දීය පිල සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට යෑම සඳහා සඳුදා (04) රාත්‍රියේ කටුනායක ගුවන් තොටු‍පොළට ගිය ද නැවත ආපසු කැඳවීම් ලැබ මධ්‍යම රාත්‍රියේම නිවෙස් බලා යෑමට සිදු වූ පුවත වාර්තා වේ. මෙසේ වීමට හේතුව වූයේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය නොලබා කණ්ඩායම සංචාරයට එක් කිරීමට ක්‍රිකට් ආයතන නිලධාරීන් කටයුතු කිරීමය.

ඕනෑම කණ්ඩායමක් රට නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමේ දී ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබිමේ සාමාන්‍ය සිරිතට පටහැණිව යමින් මෙම ක්‍රියාව සිදු කිරීමේ වරදට අවසානයේ දඬුවම් ලැබුවේ නායක තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් 9 දෙනෙකි. මේ අනුව තිසර පෙරේරාගේ නව නායකත්වය යටතේ උපුල් තරංග, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීර නැවතත් පෙරළා කැඳවීම් ලැබිමෙන් පසුව ඊයේ (05) රාත්‍රියේ නැවතත් සංචාරයට එක්වූයේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කණ්ඩායමට අනුමැතිය ලබා දීමෙන් පසුවය.

මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ ජාතික පිලකට අනුමැතිය නොමැතිව සංචාරයකට එක් වන්න බැරි බවයි. හොර පාරෙන් කාටවත් යන්න දෙන්න බැහැ. අවසන් මොහොතේ අනුමැතිය ලබා ගැනීමට එවීමත් වැරදියි. කොහොම වුණත් කිසිම ක්‍රමවේදයෙන් තොරව මේ ගමන අනුමත කළා නම් මෙම වරද ඉදිරියටත් වෙන්න පුළුවන්. මේ නිසා තමා ක්‍රීඩා අමාත්‍ය ලෙස නිවැරදි ක්‍රමය මගින් සංචාරයට එක්වීම සඳහා අනුමැතිය දුන්නේ. මෙය ක්‍රිකට් හෝ වේවා වෙනයම් ක්‍රීඩාවකට වුව ද සිදුවිය යුතු බවත් පැවසීය.

මේ අතර ක්‍රිකට් ආයතන ප්‍රධානී තිලංග සුමතිපාල පැවසුවේ තමා ද 4 වැනි දා එක්දින කණ්ඩායම ඉන්දියා සංචාරයට එක්වන බව දැනුවත් කර නොසිටි බවයි. අපේ සාමාන්‍ය ක්‍රමය තමයි ක්‍රීඩකයින් ආයතන ප්‍රධානීනි මුණ ගැසී ආශීර්වාද ලබා සංචාරයක් එක්වීම, ආගමික වතාවත් පවා මෙහි දී සිදු වෙනවා. මෙම ක්‍රමයෙන් පරිබාහිරව විශේෂයෙන් අනුමැතිය නොලබා යෑම වරදක්. ක්‍රීඩා ඇමැති කියන්නේ ක්‍රීඩාවේ බලධාරියා. ඔහුගේ අනුමැතිය ලබා නොගැනීම වරදක්. මේ නිසා ක්‍රීඩකයින්ට නැවත ආපසු පෙරළා පැමිණීමට සිදු වුණ බවත් ඊයේ නැවත නියම ක්‍රමවේදයට අනුව සංචාරයට එක්වීමට සිදු වූ බවත් ක්‍රිකට් ප්‍රධානී පැවසීය.

කෙසේ වුවත් ක්‍රීඩා ඇමැතිගේ අනුමැතිය ලබා දුන් ශ්‍රී ලංකා එක්දින පිල මාධ්‍යයට ඊයේ සවස් වන විටත් ලබා දීමට ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකය අ‍පොහොසත් වීම ද කනගාටුවට කරුණකි. එහෙත් තේරීම් කමිටුව විසින් එක්දින පිල කලින් නම් කළ බවත් අනුමැතිය සඳහා එය යැවීමට ප්‍රමාද වූ බවත් නිල නොවන ආරංචි ඔස්සේ අනාවරණය වේ.

ධම්මික රත්නවීර