ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං වළල්‍ලේ බලය තහවුරු කරගැනීම සඳහා කල් ඇතිවම සූදානම්ව සිටින පසුගිය වසරේ එහි ශූරතාව දිනාගත් ස්ලිම්ලයින් බොක්සිං කණ්ඩායමට මුහුණ දීමට අනුශූරතාව දිනූ යුද හමුදාවද අපේක්ෂාවෙන් පසුවන බැවින් අද 05 සිට 09 දක්වා රාජකීය විද්‍යාලයීය බොක්සිං වළල්‍ලේ පැවැත්වෙන 91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය බොක්සිං ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට හේතුවිය හැකිය.

අන්තර් ක්‍රීඩා සමාජ අතර පවත්වනු ලබන බොක්සිං තරගාවලියක් වශයෙන් 1927 වසරේ හඳුන්වා දුන් මෙම තරගාවලිය මුල් අවධියේදී ග්‍රහණය කරගෙන තිබුණේ මෙරට සේවයට එක්වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි.

අනතුරුව නිදහසින් පසු මුල් කාලයේ වැඩි දක්ෂතා ප්‍රදර්ශනය කරනු ලැබුවේ හමුදා නිලධාරීන් විසිනි. එබැවින් අවස්ථා 35කදී පමණ එහි ශූරතාව දිනාගන්නට යුද හමුදාවට හැකිවිය.

එහෙත් 2000 වසරේ මාස් හෝල්ඩින් ආයතනයට අනුබද්ධ ස්ලිම්ලයින් බොක්සිං කණ්ඩායම බොක්සිං වළල්ලට ගොඩවීමත් සමග මේ දක්වා පවත්වන ලද තරගාවලි 16න් 8ක්ම දිනාගන්නට සමත් වී තිබිණ.

මෙම තරගාවලියට කාන්තා තරග එක්කරන ලද්දේ 2010 වසරේදීය. එහිදී ද මාස් ආයතනයට අනුබද්ධ ක්‍රීඩා සමාජවලින් වැඩි දස්කම් මතුවූහ.

විශේෂයෙන්ම 2010 වසරේ සිට නොකඩවාම ක්ලිෆර්ඩ් කුසලාන කාන්තා බොක්සිං ශූරතාව මාස් සදර්න් බොක්සිං කණ්ඩායම දිනාගෙන ඇති අතර පසුගිය වසරේ එම ශූරතාව දිනාගනු ලැබුවේ යුනිචෙලා බොක්සිං කණ්ඩායම විසිනි.
මෙවර මෙම ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ කි.ග්‍රෑ. 49 බර පන්තියෙන් තරග වදින හෙළ බොක්සිං කණ්ඩායමේ තිවංක රණසිංහ හා කි.ග්‍රෑ. 64 බර පන්තියෙන් තරග වදින ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ දිනිඳු සපරමාදු කෙරෙහි වැඩි දෙනකුගේ අවධානය යොමුවිය හැකිය.

තිවංක රණසිංහ 2016 වසරේ ‍ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ සිට මේ දක්වාම අපරාජිත බව ආරක්ෂා කරගෙන ඇති බැවින් ඔහු 2017 වසර ජයග්‍රාහිකව අවසන් කරනු ඇතැයි බොහෝදෙනකුගේ අපේක්ෂාවය. ඒ හැරුණු විට ඔහු මේ වසරේ සහභාගි වූ ප්‍රංශයේ පැවති මොන්ටානා බෙල්ට් බොක්සිං තරගාවලියේදී හා නෙදර්ලන්තයේ පැවති එයින්ද්‍රෝවන් බොක්සිං තරගාවලියේදී ද රන් පදක්කම් දිනාගත් අතර, සර්බියාවේ පැවති ගෝල්ඩන් ග්ලව්ස් බොක්සිං තරගාවලියේදී රිදී පදක්කම දිනාගෙන තිබිණි.

සපරමාදු මේ වසරේ උස්බෙකිස්තානයේ පැවති ආසියානු ශූරතා බොක්සිං තරගාවලියේදී පස්වැනි ස්ථානය දිනා ගැනීම නිසා ජර්මනියේ පැවැත්වෙන ලෝක ශූරතා බොක්සිං තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ලබාගන්නට සමත් විය. ඒ හැරුණු විට ඔහු මේ වසරේ තායිපේහිදී ස්ලෝවැකියාවේදී හා නෙදර්ලන්තයේදී රන් පදක්කම් 3ක් දිනා ඇති ක්‍රීඩකයෙකි.

මේ දෙදෙනාට අමතරව බොක්සිං වළල්ලෙන් විශ්‍රාම ගෙන වසර දෙකකට පසු නැවත තරගාවලියට යුනිචෙලා බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු එක්වීමද විශේෂත්වයකි.

මෙවර මෙම තරගාවලියට ප්‍රධාන ක්‍රීඩිකාවන් 164 දෙනකු ඉදිරිපත්ව සිටින අතර ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය සිදු කරනු ලබන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී බොක්සිං වළල්ලට ගොඩවූ සුමිත් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සීවලී එදිරිවීර