තෙවැනි වරටත් පැවති සිල්ක් ක්‍රීඩා සම්මාන උළෙ‍ලේදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මෝටර් රථ ධාවන ශූරී ඩිලන්ත මාලගමුව සම්මාන දිනූ අතර වසරේ දක්ෂතම ක්‍රීඩිකා ලෙස මීටර් 800 ධාවන ශූරී නිමාලි ලියනාරච්චි සම්මාන ලැබුවාය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මාන උළෙලදීෙ ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන උසස්ම සම්මානය සඳහා වත්මන් ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු නම්වීම කැපී පෙනුණි.

ක්‍රීඩාව සඳහා කරනු ලැබූ අනුපමේය සේවය වෙනුවෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් වෙත ඩන්කන් වයිට් සම්මානය ලැබූ අතර වසරේ පැරා ක්‍රීඩක සම්මානය මෙවරද දිනේෂ් ප්‍රියන්ත හේරත් දිනාගනු ලැබිය.

වසරේ විශ්වවිද්‍යාල දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තිළිණි ප්‍රමෝදිතා සම්මාන ලැබූ අතර, වසරේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා ලෙස අරුණ දර්ශන සම්මාන ලැබිය. මේ අතර වසරේ දක්ෂතම පුහුණුකරු ලෙස මෙවරද සුජිත් අබේසේකර සම්මාන ලැබිම කැපී පෙනුණේ ඔහුගේ යටතේ පුහුණුව ලබන නිමාලි ලියනාරච්චි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබද්දී පුහුණුකරු ලෙස උසස්ම සම්මානයට දෙවැනි වර නම් වීම නිසාය.

මෙවර ජනප්‍රියම ක්‍රීඩක සම්මානය ලැබුවේ තුන් ඉරියව් දක්ෂතා අතර ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනෙන ක්‍රීඩකයකු වූ අසේල ගුණරත්නය. ජූරි මඬුල්‍ලේ විශේෂ සම්මාන ලැබූ ක්‍රීඩකයන් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙන් රංගන හේරත්, බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් නිලූක කරුණාරත්න, රග්බි ක්‍රීඩාවෙන් ධනුෂ්ක රංජන්, පාපැදි ක්‍රීඩාවෙන් ජීවන් ජයසිංහ, පිහිනුම් ක්‍රීඩාවෙන් කයිල් අබේසිංහ, මෝටර් රථ ධාවන ක්‍රීඩාවෙන් අෂාන් සිල්වා, බර එසැවීමෙන් ඉන්දික පරණගම, කැරම් ක්‍රීඩාවෙන් චමිල් කුරේ, චෙස් ක්‍රීඩාවෙන් ෂිහාබ් සව්මි සම්මානයට පාත්‍ර වූ අතර වසරේ දක්ෂතම ක්‍රීඩා කුසලතා පෙන්වූ පාසල ලෙස වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල සම්මාන ලැබිය.

ශ්‍රී ලංකා ස්‍පෝර්ට්ස් ඉන්ෆො ආයතනය සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙ‍ලේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මගින් ලබාදීම කැපී පෙනුණි.

ධම්මික රත්නවීර