පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ඩුබායිහි සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් එවූ කණ්ඩායමක් පැහැරගත් කුඩු තොගය ඔස්සේ ආන්දෝලනාත්මක කතා රැසක් කරළියට එමින් තිබෙන්නේය.
මෙම මත්කුඩු කිලෝ එකසිය විස්ස සම්බන්ධව විමර්ශන සිදු කරන්නේ ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයය.
‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට මෙම කුඩු තොගය ගැන තොරතුරු ලැබෙන්නේ මධුෂ්ගේ කණ්ඩායම කුඩු තොගය දෙවුන්දර ඩිලයිට් ලවා පැහැරගත් පසුවය.

මෙවර ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ක්‍රියාත්මක වන්නේ හෙරොයින් තොගය ලංකාවේදී මධුෂ්ගේ කල්ලියේ ඩිලයිට් විසින් අතුරුදන් කරවනවාත් සමග බව දැන් හෙළිවන්නේය. ඒ කුඩු තොගය ගෙන්වූ කණ්ඩායමෙන් තම කුඩු තොගය පැහැරගත් පසුව මේ ගැන ඔත්තුවක් ලබාදුන් නිසා විය හැකිය.

මෙම කුඩු තොගය මෙරටට ගෙන්වීම පසුපස සිටින්නේ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ කෝටිපති ව්‍යාපාරිකයකුව සිටි අයකු හා ඔහුගේ පුත්‍රයා බව කියන්නේය. මෙකී චෝදනාව ලත් ව්‍යාපාරිකයා තම පුත්‍රයාගේ උපන් දිනය සැමරීමට මාලදිවයිනට ගිය බව හඟවා පුත්‍රයා සමග ගොස් ඇත්තේ මාලදිවයිනේදී කුඩු තොගය මෙරටට ගෙන එන ගනුදෙනුව කිරීම සඳහා බව බුද්ධි අංශ තොරතුරු සොයාගෙන ඇත.

බේරුවලින් අත්අඩංගුවට ගත් බෝට්ටුවේ ස්කීපර්ගේ ප්‍රකාශවලට අනුව මෙකී පිය පුතු දෙදෙනා ජාවාරම සඳහා මාලදිවයිනට ගිය වග හෙළිවන්නේය.

දැනට හෙළිවන තොරතුරුවලට අනුව ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පසුගිය සතියේ මෙම පිය පුතු දෙපළ අත්අඩංගුවට ගැනීමට සොයන අතරේ කොළඹ දී කිහිප දෙනකුට සාදයක් පවත්වා මෙම පරීක්ෂණ යටපත් කරවා ගැනීමට සාකච්ඡා වී ඇත. රුපියල් කෝටි ගණනක් වියදම් කර හෝ මෙම උගුලෙන් ගැලවෙන්නට පිය පුතු දෙදෙනා සැලසුම් කළ බව ද මේ වනවිට කියවෙන්නේය.

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයෙන්ම වෙළෙඳසල් පහක් හා සුපිරි නිවාස හයක් ඇති බව කියන මෙකී කෝටිපති ව්‍යාපාරිකයා මාළු ලොරි අස්සේ කුඩු ප්‍රවාහනය කළ බවට නගන චෝදනා ගැන මේ වන විට විමර්ශන කණ්ඩායම් තොරතුරු අනාවරණය කරමින් සිටිති. මාළු ලොරිවලින් කුඩු ප්‍රවාහනය කරන අතරේ පරණ වන මාළු කරවලවලට වේළන්නට දුන් වග ද මාළු ව්‍යාපාරිකයන්ගෙන්ම දැන් හෙළිවෙමින් තිබෙන්නේය.

මේ අයුරින් යුද සමයේ එල්ටීටීඊය සමග සබඳකම් පැවැත්වූ කොළඹ මාළු වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් යොදාගෙන මාළුන්ගේ බඩවල් මැද පුපුරන ද්‍රව්‍ය ගෙන ආ අවස්ථා මීට පෙර ආරක්ෂක අංශ සොයාගෙන තිබුණේය.
මේ ආකාරයට මෙවර මාළු ලොරිවල හෙරොයින් ප්‍රවාහනය කළ ආකාරය අනාවරණය වන්නේය. හෙරොයින් ජාවාරමේ ඒජන්තයකු වන වෙ‍ලේ සුදා කුඩු මෙරටට ගෙන්වන්නට යෙදුවේත් මීට සමානම උපක්‍රමයකි. ඒ පාකිස්තාන් හා ඉන්දියාවේ සිට මෙරටට යකඩ බට ගෙන්වා යකඩ බටවලින් විවිධ දෑ හදන ව්‍යාපාරිකයන්ගේ යකඩ බට කන්ටෙන්ර්වලය. මෙම ව්‍යාපාරිකයන් කාලයක් තිස්සේ යකඩ බට මෙරටට ගෙන්වා ඇති පුද්ගලයන් නිසා රේගුවේදී දැඩි පරීක්ෂාවකට ලක් නොවන්නේ රේගු නිලධාරීන්ට නිතර හුරුපුරුදු නිසාය. අවසානයේ වෙ‍ලේ සුදා උපක්‍රමයක් ලෙස අදාළ ව්‍යාපාරිකයන් සමග එක්වී කුඩු තොග පිටින් යකඩ බටවල පුරවා රැගෙනවිත් කෝටි ගණන් හම්බ කර ගනිමින් ව්‍යාපාරිකයන් ද අසීමිත ධනපතියන් කෙරුවේය.

මෙම මාළු ව්‍යාපාරිකයා ද අසීමිත මුදල් ඉපැයූ අයකු වග මෙයින් අනාවරණය වන්නේය.
මීගමුව, හලාවත පැත්තෙන් එන බෝට්ටු දෙස නාවික හමුදාව හා ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩි අවධානයක් යොමු කරද්දී කුඩු ජාවාරම්කරුවන් තිස්සමහාරාම, දෙවුන්දර, කිරින්ද ප්‍රදේශවලින් කුඩු ගෙන එන වග දැන් පැහැදිලි වන කාරණාවකි.

මාකඳුරේ මධුෂ් විසින් දෙවුන්දර ඩිලයිට් යොදවා පැහැරගත් කුඩු තොගයට වූ දෙයක් තවමත් අනාවරණය වී නොමැත. කෙසේ වුවද ඩිලයිට් කොළඹ දී අත්අඩංගුවට පත්ව මුදාහල බව කලින් කියැවුණ ද එය සනාථ නොවූ කාරණාවක් වූයේය.

යම් හෙයකින් ඩිලයිටි කොටු කළහොත් මෙම කුඩු ජාවාරමේ තවත් අක්මුල් සොයාගත  හැකිය. කෙසේ වුවද කෝටි ගණනින් මුදල් විසිකර හෝ විමර්ශන යටපත් කරගන්නට ප්‍රකෝටිපතියන් ගන්නා උත්සාහය හමුවේ විමර්ශනවලට කුමක් වේද යන්න සැක සහිතය. ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සිටින දක්ෂ නීතිගරුක නිලධාරීන් හෝ මෙයට මැදිහත් වී විමර්ශන කළහොත් සියල්ල අනාවරණය විය හැකිය.

මේ අතරතුර මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයවීමෙන් පිළියන්දල දී එල්ල කළ පාතාල වෙඩි ප්‍රහාරයට ලක් වූ ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නමක් දිනාගත් නිලධාරියකු වන ‍පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සුවය ලබා යළිත් මෙම සතියේ සේවයට වාර්තා කළේය.

මත්ද්‍රව්‍ය වැටලීමකට බව පවසා ගෙන්වා මාකඳුරේ මධුෂ් විසින් කරන ලද සැලසුමකට පිළියන්දලදී කොටුකරගත් ‍පොලිස් පරීක්ෂක රංගජීව අනූනවයෙන් දිවි බේරාගත්ත ද ඔහු සමග ගිය ‍පොලිස් සගයකු මරණයට පත්විය.
මධුෂ්ගෙන් මෙම වාඩුව පියවන්නට ‍පොලිස් පරීක්ෂක රංගජීව යළිත් කරළියට එන්නේ නිහඬවම මධුෂ්ගේ කුඩු ජාලයට තිත තැබිමට බව කියැවෙන්නේය.

මාකඳුරේ මධුෂ්ව ඉදිරියේදී ලංකාවේ කුඩු ජාවාරම සැබැවින්ම අභියෝගයක් විය හැක්කේ ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මධුෂ්ගේ කුඩු ජාලයට දැල එළමින් යන නිසාය.

මේ අතරේ මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයවීමෙන් කළුතර එතනමඩලදී ඝාතනය වූ රණා‍ලේ සමයංගේ කල්ලියේ හිතවතියක් ලෙස කටයුතු කළ බව කියන කාන්තාවක බ්‍රහස්පතින්දා (30) රාත්‍රියේ කොට්ටාව රුක්මල්ගමදී ඝාතනයට ලක්වන්නේය.

මාකඳුරේ මධුෂ්, කඩුවෙල රණා‍ලේ සමයංගේ ඝාතනය සඳහා සහාය ගන්නේ අංගොඩ ලොක්කාගේ කල්ලිය හා අතුරුගිරිය බාල්දි ප්‍රියන්ත මෙහෙයවූ ලඩියාගේ කල්ලියෙනි.

අතුරුගිරිය කල්ලිය සමග සිටි අතුරුගිරියේ බණ්ඩා අතුරුගිරියේ දී ඉකුත් ජනවාරි 17 දා රූපලාවණ්‍යාගාරයකදී ඝාතනය වීම සමයංගේ මරණය ඉක්මන් වීමට හේතු විය.

අවසානයේ අනාවරණය වූයේ අතුරුගිරිය රූපලාවණ්‍යාගාරය හිමි මංජුලා සඳුනි නමැති ඝාතනයට මුල් වූ කාන්තාව අතුරුගිරියේ බණ්ඩා තම ආයතනය වෙත ගෙන්වාගෙන සමයංගේ කල්ලියට ඔත්තුව දුන් වගය. එම සිද්ධියෙන් පසුව අතුරුගිරියේ කණ්ඩායම මෙම කාන්තාවට අයත් වෙළෙඳසලට ද ගිනි තැබූහ.

එම ඝාතනයට උදව් දීමේ චෝදනාවට මංජුලා ‍පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නිදහස් වී පැමිණ ඇත්තේ මෑතකදීය. අතුරුගිරිය කල්ලියේ මරණ තරජන එල්ල වීම නිසා ඇය පසුගිය කාලයේ සැඟවෙමින් කාලය ගතකර ඇති බවත් ඝාතනය වූ දිනයේ ද කඩුවෙල අධිකරණයට ගොස් දරුවන් හා සැමියා සිටින කොට්ටාවේ නිවසට පැමිණි මොහාතේ මෙසේ කොටුවී ඇතැයි හෙළි වී තිබේ.

මෙම නිවසට කඩා වැදුණු අවි ආයුධ සන්නද්ධ අවිකරුවන් වෙඩි ප්‍රහාර දාහතරක් එල්ල කර ඇයව ඝාතනය කර ඇත්තේ නැන්දම්මා ඉදිරිපිටදීමය.

මංජුලාගේ සහාය මැද සමයං විසින් අතුරුගිරියේ බණ්ඩාව රූපලාවණ්‍යාගාරයට ගෙන්වා ඝාතනය කිරීමේ වාඩුව මෙසේ ඝාතකයන් විසින් ගන්නට ඇතැයි හෙළි වී ඇත. සමයංගේ කල්ලියේ ගොත අසංක අතුරුගිරිය බණ්ඩා ඝාතනයට පැමිණ තිබූ අතර පසුව මංජුලා ගොත අසංක සමග මත්කුඩු ජාවාරම් සඳහා යොදාගත් වග ‍පොලිස් පරීක්ෂණවලදී කියැවෙන්නේය.

කෙසේ වුවද පාතාල ලෝකයේ ඝාතන රැල්ල කාන්තාවන් ඝාතනය කරන තත්ත්වයට පත්ව ඇත්තේය. මියගිය මංජුලා දෙදරු මවක් වන්නේය. පාතාලයේ මත ගැටුම් නිසා සමාජය හමුවේ අසරණ වන්නේ අහිංසක දරුවන්ය.
රට තුළ අපරාධ රැල්ල වැඩිවීම පාලනයට කෙතරම් උත්සාහ කළ ද මතෛක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාර අමාත්‍යංශයට පත්වූ කිසිදු ඇමැතිවරයකුට හෝ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයකුට බන්ධනාගර තුළ ඇති දුරකථන භාවිතය නවත්වා ගැනීමට නොහැකිවීම කනගාටුවට කරුණකි.  අද වනවිටත් ලංකාවේ බන්ධනාගාරවලින් අපරාධකරුවන්ට කිසිදු ආකාරයකින් බාහිර සමාජය සමග එක්වීමට නොහැකි ලෙස ජංගම  දුරකථන භාවිතය නවත්වා දමන්නට සමත්ව ඇත්තේ බන්ධනාගර අධිකාරි උඩුවර යටතේ ඇති මහර බන්ධනාගරයේ පමණකි.

මහර බන්ධනාගරය හුදකලා බන්ධනාගාගරයක් බවට පත්කර අපරාධකරුවන්ට පිටත සම්බන්ධවිය නොහැකි අයුරින් ආදර්ශයක් රටපුරා අනික් බන්ධනාගාරවලට  දුන්නද ඒ ආදර්ශය ගෙන රටේ අපරාධ රැල්ල නවත්වන්නට දායකවන්නට අනෙක් අධිකරීවරුන් අසමත්ව ඇත. වැලිකඩ බන්ධනාගරයේ මේවනවිට යම්තාක් දුරට පාලනයක් නොගියද කොළඹ රිමාන්ඩ් හා මැගසින් බන්ධනාගාරවල දූෂිත නිලධාරීන් හිරකුටි තුළට ජංගම දුරකථන ගෙනගොස් දෙන තත්ත්වයට පත්වීම නිසා  මෙම තත්ත්වය පාලනය කරගත නොහැකිවී  ඇත.

රජයක් වශයෙන් රටේ අපරාධ රැල්ල පාලනය කරන්නට වුවමනාවක් තිබුණානම් බන්ධනාගර තුළට ජංගම දුරකථන ඇතුල්වීම නැවැත්වීමට දැඩි නීතිරීති යෙදවූවා නම් මේ තත්ත්වය උදාවන්නේ නැත. තරුපටි ගසාගෙන ඇති බන්ධනාගාර නිලධාරීන්ට මීට වඩා යමක් කරන්නට රට කරන බලධාරින් නියෝග දුන්නා නම් මීට වඩා රට තුළ ව්‍යාප්තවන අපරාධ රැල්ල වළක්වා ගන්නට ද තිබුණේය.

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින කඩුවෙල පාතාල නායක රනා‍ලේ සමයංගේ ප්‍රධාන  ගෝලයන් මාස ගණනක සිට හිරගෙදර සිට කප්පම් ඉල්ලූ සිද්ධි වාර්තාවීම ඊට කදිම නිදසුන් විය.

මීට පෙර සමයං වැලිකඩ හිරගෙදර සිට  කප්පම් ගත්තාක් මෙන් සමයංගේ කල්ලියේ ඉතිරිව සිටින ඌරුජුවා කප්පම් ඉල්ලා සිටි අවස්ථාවක් තහවුරු වන්නේ පසුගිය සතියේදීය.  නවගමුව මධුර පූජාභාණ්ඩ හිමිකරුගෙන් හිරගෙදර සිට කප්පම් ඉල්ලන්නට ගොස් වැරදුණු තැන කඩු‍පොලු රැගත් කල්ලියක් නිවසට යවා නිවසේ දේපළ හානිකර මංකොල්ල කෑමක් සිදුකරන්නට ඌරුජුවා හිරගෙදර සිට ක්‍රියාත්මක වූයේය. එම නිවසේ හිමිකරුගේ බිරිඳ හා දරුවන් කඩු පෙන්වා බියවද්දවා රුපියල් ලක්ෂ හතරක පමණ රන් ආභරණ කොල්ල කෑමට ඌරුජුවා එවූ කණ්ඩායම කටයුතු කළේය.

කඩුවෙල සමයං සිටිද්ධි ඕනෑම තැනකට ගොස් අපරාධයක් කරන්නට තරම් අපරාධ කණ්ඩායම් සිටියද මේ වනවිට ඌරුජුවාට එවැනි කණ්ඩායමක් සාදාගත නොහැකිව ඇත්තේ නවගමුව ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා කඩුවෙල පාතාලයට  එරෙහිව ක්‍රියාත්මක වන නිසාය. කඩුවෙල සමයං සිටියදී පවා සමයංව බලන්නට හිරගෙදරට යන්නට පවා ගෝල බාලයන් කඩුවෙලින් සොයාගත නොහැකි වූයේ නවගමුවට නව ‍පොලිස් ස්ථානාධිපති ලෙස පැමිණි ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන ඒකකයේ ආරම්භක සාමාජිකයකු වූ ‍පොලිස් පරීක්ෂක මංජුලද සිල්වා ක්‍රියාත්මක කළ අපරාධ මර්දන වැඩපිළිවෙළ නිසාය.

පාතාලය මර්දනය කරන අතරේ තරුණ පරපුර නිසිමගට ගැනීම උදෙසා විශේෂ දේශකයන්ගේ වැඩ සටහන් මෙන්ම ‍පොලිසියේ අනුග්‍රහයෙන් පුස්තකාලයක්ද සාදා දෙන්නේ තරුණ පරපුර හෝ අපරාධ රැල්ලට යොමුවීම වළක්වන්නටය.
කෙසේ වුවද තවමත් තම කප්පම් රැල්ල හිරගෙදර සිට ක්‍රියාත්මක කරන්නට  උත්සාහ කරන ඌරුජුවා රිමාන්ඩ් බන්ධනාගරයේ සිට එවූ අපරාධ කල්ලිය දවස් පහක් තුළ කොටුකරන්නට නවගමුව ‍පොලිසියට හැකිවිය.
කඩුවෙලින් කණ්ඩායම් ඉදිරිපත් නොවන නිසා අනුරාධපුර, අතුරුගිරිය, මාලබේ ප්‍රදේශවලින් හිරගෙදරදී හමුවූ කණ්ඩායම් යොදවා මෙම මංකොල්ලය කරවා තිබුණේය.

මෙම අපරාධයට එක්වූ සියලු දෙනා අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහිවූවන් බවද හෙළිවී ඇත්තේය.
එක් සැකකරුවකු විසින වරෙක 2002 වසරේදි දැනටමත් ඇමැති ධුරයක් හොබවන දේශපාලනඥයකුගේ වාහනයක් රැගෙනගොස් ඉන්ධන පිරවුම්හල් මංකොල්ල කෑමේ සිද්ධියකටද දායක වූවෙකු විය.

අදාළ  ඇමැතිවරයා තවත් ඇමැතිවරුන් දෙදෙනකු සමග එක්වී ජපන් යැවීමේ ව්‍යාපෘතියක් කරන අතරේ එක් ඇමැතිවරයකු සමග උරණවී එම ව්‍යාපෘතියට අදාළ ලිපි‍ලේඛන සොරකම් කිරීමට භාරදී ඇත්තේ මෙම සැකකරුටය. ඒ සඳහා  අදාළ ඇමැතිගේ වාහනයකින් ගොස් ඇමැති ‍ලේකම්වරයකු ගමන්ගත් වාහනයක් මංකොල්ල කා ලිපිගොනු රැගෙන යන අතරේ ඉන්ධන පිරවුම්හල් කොල්ලකා ඇතැයි අනාවරණය වන්නේය.

ඉන්පසු සිරගතවී හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති සැකකරු මෙවර කඩුවෙල පාතාල කල්ලියේ මංකොල්ලයට පැමිණ ඇති වග අනාවරණය වී ඇත්තේය.

මේ අයුරින් බලනකල රටේම අපරාධ රැල්ල පසුපස බන්ධනාගරගතව සිටින අපරාධකරුවන් සිටින වග පැහැදිලිය.
මේ අතර හික්කඩුවේ මත්කුඩු ජාවාරම කරගෙන යන හික්කඩුවේ ‍පෝල් නමැති පාතාලතයා හා ගෝලයකුව ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක මනෝහර ඇතුළු කණ්ඩායමකට කොටුවන්නේ මෙම සතියේදීය. පිස්තෝලයක් හා අත්බෝම්බයක් සමග ‍පෝල් කොටුවන්නේය.

අම්බලන්ගොඩ ප්‍රසිද්ධ ව්‍යාපාරකයකු වන ප්‍රේමසිරි හැළඹගේ මහතාව ඝාතනය කරන කොන්ත්‍රාත්තුව ලබාගත් ‍පොඩි ලැසීගේ කණ්ඩායමට එක්වී එම ඝාතනය කිරීමට පැමිණි අය අතර හික්කඩුවේ ‍පෝල් සිටි බවට අනාවරණය වී තිබුණේය.
රුපියල් ලක්ෂ පහක කොන්ත්‍රාත්තුවකට ප්‍රේමසිරි හැලඹගේ නමැති ව්‍යාපරිකයා ඝාතනය කරන්නට භරගත් හික්කඩුවේ ‍පෝල්ව ඝාතනයෙන් පසුව ලැසී, කරන්දෙණිය සුද්දා, රාජු ඇතුළු කණ්ඩායම දී තිබුණේ ලක්ෂ දෙකක් බවද කියවිණි.
‍පෝල් කොටුවී දින දෙකකට පසුව ‍පොලිස් විශේෂ කාර්ය බළකායෙ පාතාල මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය ඇතුළු කණ්ඩායමක් හික්කඩුව, ගෝනාපීනුවලදී ‍පෝල්ගේ බිරිඳ කොටුකරගන්නේය.

ඒ අවි ආයුධ හා මත්කුඩු සඟවා තිබෙන බවට තොරතුරු මතය. ‍පෝල්ගේ බිරිඳ සන්තකයේ තිබි හොරොයින් ග්‍රෑම් පනහක් කොටුවූ අතර එම කතගේ පා‍පොච්චාරණයෙන් පසුව හික්කඩුවේ ‍පෝල් සමග අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ අසල වළදමා තිබුණු මෙරට නිෂ්පාදිත පිස්තෝල උණ්ඩ යොදන ගිනිඅවියක් හා නවීකරණය කළ පතුරම් තුවක්කුවක්ද සොයා ගැනිණි.

හික්කඩුව කුඩු බෙදාහරින කුඩු ‍පෝල්ගේ ජාවාරම තවදුරටත් හිරගෙදර සිට ක්‍රියාත්මක වීමට ඉඩ ඇත්තේය.
හිරගෙදර සිට රටපුරා මෙහෙයවන අපරාධ හා මත්ද්‍රව්‍ය රැල්ල පවත්වන්නට අනෙක් බන්ධනාගාර නිලධාරීන් අසමත් වන්නේ නැති දරුණු අපරාධකරුවන් මහර බන්ධනාගරයට යවා හෝ රටේ අපරාධ අඩුකරන්නට බන්ධනාගර භාර ඇමැතිවරයා හෝ කටයුතු කළ යුතුව ඇත.

සඳරුවන් පලිහේන/දේමුණි සොයිසා

Untitled-7