අනුන් ගැන හිතන හදවත් අද මේ සමාජයේ ඉස්සර තරම් නැත. සියල්ල මුදලට තීරණය වන, මුදලින් සියල්ල කරගන්නා මේ සමාජයේ මුදල පසෙක දමා අනුන් වෙනුවෙන් වැඩ කරන්නන් හමුවන්නේ කලාතුරකිනි. එවන් මිනිසුන් විරල වුවත් මුදල පසෙක දමා අංක එකට අනුන් ගැනත් අංක දෙකට තමන් ගැනත් සිතන එවන් ”සොඳුරු හදවත් ඇත්තෙක්” කළුබෝවිල රෝහලේ විස්සේ වාට්ටුවේ සිටියි. ඒ සිල්වා අයියාය. නැත්නම් සිල්වා මාමාය. එහෙමත් නැත්තම් සිල්වා අංකල්ය. නේවාසිකව ප‍්‍රතිකාර ගත් ඇතැම් රෝගීන් සේම කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් හා බොහෝ ඖෂධ ශාලාවන්ද ”සිල්වා” හොඳින් දැන හඳුනයි. ඒ රෝහල් ක්ෂේත‍්‍රයෙන් ස්ථීරේට දුන්න රැුකියාවක් නැතත් අවුරුදු හතළිස් ගානක් තිස්සේ ඔහු කළුබෝවිල රෝහලේ කරන සේවාව නිසාය.

හැටහතර හැවිරිදි ඩෙන්සිල් සිල්වා ඉපදුණේ පිළියන්දල ජල්තර වුවත් දැන් ඔහු පදිංචිය වැඩිමල් පුතුගේ දම්පේ ගෙදරය. ඩෙන්සිල් සිල්වා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් එස්.එස්.සී. වැඩ හයක් පාස්ය. වැඩිදුර අධ්‍යාපනයක් ගැන නොසිතා අම්මාගේ සිල්ලර කඩ ව්‍යාපාරයට එකතු  වූ ඩෙන්සිල් සිල්වා අම්මාගෙන් ව්‍යාපාරික ඥානය සේම තවත් දෙයක් ඉගෙන ගත්තේය.

”අපෙ අම්මා කඩ දෙකක් කළාට හිත බොහොම කරුණාවන්ත කෙනෙක්. අහල පහල ලෙඩක් දුකක් හැදිච්ච කෙනෙක් හිටියා නම් අම්මා නොවරදවාම ඒ අය බලන්න ගියා. මේ  ගමේ අහල පහල ගොඩක් හිටියේ අපේ ඥාති සමූහයා. ඔය ලෙඞ්ඩු අතරෙ අංශබාග රෝගියෙක් හරි නැගිටගන්න බැරිව ඔත්පල වෙලා ඉන්න කෙනෙක් හරි හිටියා නම් අම්මා එහාට ගිහින් වතුර උණුකරලා නාවලා කවලා පොවලා, කසාය මුට්ටිය හදලා දීලා වගේ උපකාර කරලා ආවා.

එතකොට ඔය හැරමිටියෙන් යන වයසක අයට ගෙදරට එන්න කියලත් වතුර උණුකරලා නාවලා කන්න බොන්න දීලා යවනවා.  ඕවා අම්මා පාරක් දෙපාරක් කරපු ඒවා නෙවෙයි. අපේ අම්මා ඉන්නකල් ඔය වැඩ කළා. මටත් ඉතින්  ඕවා බලා ඉන්නකොට හිතේ හරි ආසාවක් ආවා ලෙඞ්ඩුන්ට උදව් කරන්න. මමත් ඉතින් කොල්ලා කාලේ ගමේ ලෙඞ්ඩු ඉන්න ගෙවල්වලට ගිහින් අම්මා වගේම උදව් කළා. අම්මා කවදාවත් ඒවා කරන්න එපා කියලා මට කිව්වෙ නෑ. ”
ව්‍යාපාරිකයන් මුදලට ලෝබ වෙද්දී ඩෙන්සිල්ගේ අම්මා මුදල ගැනම නොසිතා මිනිසුන් ගැනත් සිතා ජීවත්වූ කාන්තාවක් වූවාය. ඩෙන්සිල් ඇගෙන් ජීවිතයට ගත් ආදර්ශය වූයේත් එයයි. ඒ නිසාමදෝ අම්මාගේ ඇවෑමෙන් ඔහුට බාරවූ කඩය දිගින් දිගටම කරගෙන යන්නට ඔහු අපොහොසත් වුණේය. විසිහතර හැවිරිදි වියේදී විවාහ දිවියට ඇතුළු වුණ ඩෙන්සිල්ට තමන් කැමැතිම ලෙඩුන්ට ආවතේව කිරීමේ කටයුත්ත කරන්නට මගක් පෑදුණේ බිරිඳ පළමු දරු ප‍්‍රසූතියට කළුබෝවිල රෝහලේ මව් සායනයට යන ගමනේදීය.

”මගේ නෝනා කාන්ති රේණුකා පීරිස්. එයාට ලොකු පුතා ලැබෙන්න හිටපු 78 අවුරුද්දෙ එයා කළුබෝවිල ඉස්පිරිතාලෙ ක්ලිනික් එකට යනකොට මමත් යනවා. ඒ යද්දී තමයි ඒ කාලේ පරණ බිල්ඩිමේ තිබ්බ තුනේ වාට්ටුවේ ලෙඞ්ඩුන්ට උදව් උපකාර කරන්න ගත්තේ. උණ ලෙඞ්ඩු, වහ බීපු ලෙඞ්ඩු වගේ අය හිටියේ. ඒ කාලේ  ඕන කෙනකුට වාට්ටුවට ගිහින් ලෙඩෙක්ට උදව් කරන්න පුළුවන්. ඒ අය බය නැතුව උදව් ගත්තත් එක්ක. ඒ දවස්වල ඔය වගේ තැන්වල අකටයුතුකම් සිද්ධ වුණේ නෑනේ. මුල් දවස්වල වරුවක්වත් උදව් කරන ලෙඩා ළඟ හිටියේ නෑ. අවශ්‍ය උදව් කළා, ආවා. ඊට පස්සේ මාව ටික ටික කට්ටිය දැන හඳුනනකොට සමහර ලෙඞ්ඩුන්ගෙ භාරකාරයෝ මගෙන් උදව් ඉල්ලූවාම ඔය වරුවක් විතර ඉඳලා ලෙඩාගේ ආවතේව කරලා දීලා ඒ ගොල්ලො කැමැත්තෙන් දෙන ගාණක්  අරගෙන මං ගෙදර ආවා.”

ඩෙන්සිල් සිල්වාගේ රෝහල් ආවතේව සේවා කාලයක ඉතිහාසයේ මුල් අදියර තුනේ වාට්ටුවේ වසර එකහමාරක් පමණ ගෙවී ගියේය. ඒත් මිලකටම නොව දෙන දෙයක් ගෙන ගියේ හිතේ සතුටිනි.  ඉන්පසු ඩෙන්සිල්ගේ සේවය වසර කීපයක් මහරගම පිළිකා රෝහල වෙත ගියේ ඔහුගේ මාමා කෙනකු දණහිසේ ඇතිවූ පිළිකාවකට රෝහල්ගත වූ නිසාය.
”මාමා බලාගන්න මහරගමට ගියාට පස්සෙ ඒ ඉස්පිරිතාලෙ අයටත් මම උදව් කළා. සමහරුන්ට මට මුදලින් උදව්වක් කරන්න හැකියාවක් තිබ්බෙ නැතත් මම ඒ අයට  ඕන උදව්වක් කරලා දුන්නා. මාමා ටිකට් කපලා ගෙදර ගෙනාවට පස්සෙත් දැන අඳුනා ගත්තු සමහරු මට කොහොමහරි පණිවුඩ එවලා මාව උදව්වට ගෙන්න ගත්තු වෙලාවලූත් තිබුණා. ඔහොම වැඩ කරගෙන හිටියා මිසක් මම වෙන වැඩකට ගියෙත් නෑ. ගෙදරින් වුණත් මේ වැඩවලට යන්න එපා කියලා කිව්වෙ නෑ කවදාවත්. පුංචිවට හරි කෙනෙක් කැමැත්තෙන් දුන්න ගාන තමයි ඒ කාලේ ආදායම් මාර්ගේ වුණෙත්.

ආපහු මම කළුබෝවිල ඉස්පිරිතාලෙ තුනේ වාට්ටුවට ගියා 91 අවුරුද්දේ. එතකොට වාට්ටුව බාරව හිටියෙ ගුණවර්ධන දොස්තර මහත්තයා. එතන වැඩ කර කර ඉඳලා කොළඹ මහ ඉස්පිරිතාලෙටත් ගිහින් අවුරුදු නවයක් දහයක් වැඩ කළා. එක පාරටම ලෙඞ්ඩුන්ගේ වැඩට මගෙ උදව් දෙන්න අමාරුයි. දන්න කියන කෙනෙක් ගාවට ගිහින් එයාට උදව්කරන අතරේ තව උදව්  ඕන අයට උදව් දුන්නා. නොදන්න කෙනෙක්ගෙන් උදව් ගන්න මිනිස්සු බයයි. ඉතින් මං උදව් කරන අයත් පුළු පුළුවන් විදිහට මට  සැලකුවා. සල්ලි කීයක් හරි දෙන්න නැත්තම් ගෙදරින් ගේන කෑම බීම තේ එක හරි බෙදා ගත්තා. මොකුත්ම ලැබුණේ නැතත් මං උදව්  ඕන කෙනාට උදව් දුන්නා.”

කොළඹ මහරෝහලේ ලෙඞ්ඩුන්ට උදව් උපකාර කරගෙන සිටි ඩෙන්සිල්ට වසර දෙකක් පමණ නිවසටම වී සිටින්නට සිදුවූයේ කකුලේ ආබාධයක් ඇතිවූ නිසාය. කකුලේ රෝගී තත්ත්වය කෙමෙන් සුවවද්දී ඩෙන්සිල්ට නිවසට වී සිටින්නට හිත දුන්නේ නැත. ඒ වනවිට කළුබෝවිල රෝහලේ අලූත් ගොඩනැගිල්ලද විවෘත කර තිබුණි. එවර ඔහු 2002 වසරේ අලූත් ගොඩනැගිල්ලේ වූ විස්සේ වාට්ටුවට ගියේය.

”ඒ ඇවිල්ලත් ස්ථිරව වාට්ටුවේ නැවතිලා උදව් කළේ නෑ. ලෙඩෙක් දෙන්නෙක්  බලලා අතට ලැබෙන කීයහරි අරගෙන ගෙදර ගියා. එතකොට අපිට පුතාලම තුන් දෙනෙක් ලැබිලා හිටියා. විස්සේ වාට්ටුව කියන්නෙ අනතුරු කරගෙන එන වාට්ටුව. ගොඩක් ඉන්නෙ මෝටර් සයිකල්, ත‍්‍රීවිල් ඇක්සිඩන්ට්, එතකොට ගස්වලින්, වහලවලින් වැටිච්ච කට්ටිය. හැම වයසකම අය මෙතන ඉන්නවා. මුලින් නැවතිලා වැඩකළේ නැතුවට පස්සෙ පස්සෙ වරුව, දවස හමාර ඉන්න පුරුදු වුණා. ඊට පස්සෙ අද වෙනකොට දවස් ගණන් එක දිගට වාට්ටුවෙ නැවතිලා ලෙඞ්ඩු බලාගන්නවා. ඉඩක් ආව ගමන් ගෙදර දුවලා එනවා. ලෙඩෙක් වාට්ටුවට ආවම මම බලනවා ගිහින් උදව්  ඕනද කියලා. සමහරු මගේ උදව් ගන්න කැමැතිවෙනවා. අකැමැති බවක් පෙන්නුවොත් මගඇරලා ඉන්නවා. මගේ සේවය ගන්න කැමැති අය ඊට පස්සෙ මුලින්ම මගෙන් ගණන් අහනවා. මම කියන්නෙ කැමති ගාණක් දෙන්න, මට එහෙම ගාණක් කියන්න බෑ කියලා.

සමහර අයට එහෙම කෙනෙක් හොයන්නවත් නෑයෙක් නෑ. මං ඒ අයටත් උදව් කරනවා. තව අය මට කතාකරලා කැමැත්තෙන්ම උදව් ඉල්ලනවා. තවත් සමහරු ලෙඞ්ඩු වෙලා හිටියත් මහ කපටි මිනිස්සු. සතිය, දෙක, සමහරවිට මාසයක් විතර මගේ උදව් අරන් සතයක්වත් නොදීත් මම ඉන්නැද්දීම නොකියම යන්න යනවා. එහෙම අයට කරපු උදව් උපකාර ගැන මම තරහ ගන්නෙ නෑ. මට මේ ශරීරය දුන්න දෙමාපියන්ට මං කරපු දේවල්වල පින් ලැබේවා කියලා ප‍්‍රාර්ථනා කරනවා. විවිධාකාර අය මෙතැනදීත් හම්බවෙනවා. අපි ලෙඩෙක් බලා ගන්නකොට ඉවසීමෙන් වැඩකරන්න  ඕන. මම ලෙඞ්ඩුන්ගෙන් ඉවසීමත් හොඳට පුරුදු  වුණා. ඔය අතරේ බලාගත්ත ලෙඩෙක් හරි වාට්ටුවේ කතාබහ කරලා හිටපු ලෙඩෙක් හරි හදිස්සියේ මැරුණොත් කොහේ දුරක වුණත් මං මළගෙදරත් යනවා.

මොනවා වුණත් කෙනෙක් ලෙඩ වුණාම හරි පව්. ඒ වෙලාවට කෙනෙක්ගෙ උදව්  ඕනමයි. විශේෂයෙන් අතපය, කොන්ද කඩාගත්තම. මම ඉතින් නාන්න  ඕන අය නාවනවා. රෝද පුටුවෙ තියාගෙන වැසිකිළි එක්ක යනවා. කෑම කවන්න  ඕන නම් ඒවත් කරනවා. ඇවිද්දවනවා. තව  ඕන උදව්වක්  ඕන වුණොත් කරනවා. ඒ අතරේ පිටින් ගෙන්න ගන්න  ඕන බෙහෙත් වාට්ටුවෙන් ලිව්වම ඒකට ලොකු ගාණක් යනවා නම් අහවල් වෙලාවට සල්ලි ගෙන්නලා දෙන්නම් කිව්වොත් ෆාමසියෙන් ණයට බෙහෙත් ටික ගෙනත් දෙනවා. එහෙමවත් සල්ලි නැති කාත් කවුරුත් නැති කෙනෙක් නම්  රුපියල් දෙතුන් සීයක බෙහෙත් නම් මම මගේ වියදමින් ගෙනත් දෙනවා. මම දෙන දෙයක් අරගෙන මෙහෙම වැඩ කරලා ඇත්තටම ලබන්නේ ලොකු සතුටක්. මම කාටවත් ණය නෑ. අපේ ගෙදර අයවත් ණය නෑ. මට ප්‍රෙෂර් නෑ. සුගර් නෑ. හාට්කේස් නෑ. කොටින්ම කිව්වොත් ලෙඩ රෝග නෑ. මට දැන් හැට හතරක්.  ඕන ලෙඩෙක් උස්සන්න පෙරළන්න ශක්තිය තියෙනවා. මට නිරෝගිකම ලැබෙන්නේ මං කරන සේවයේ පිනට වෙන්න ඇති. ගෙදර ගියත් ඒ ඉන්න පැය දෙක තුන මම සතුටෙන් ඉඳලා එන්නේ. මට හිතෙනවා මං හරි වාසනාවන්තයි, පින්වන්වන්තයි කියලා..”

වියපත් වීත් නැවතීමක් නැතුව එකදිගට වැඩ කරන ඩෙන්සිල් සිල්වාට වෙහෙස කියන වචනය නම් බොහෝ දුර ඈතය. ඔහුගේ  මුහුණේ නිතර ඇති ප‍්‍රසන්න කාරුණික බව රෝගියකුගේ මනසටද සැබෑ සුවයක් ගෙන දෙයි. රුපියල් එක්දහස් පන්සීයට දෙදාහට ලෙඩුන් බලන බිස්නස් සාත්තුකාරයින්ගේ උදව් කළුබෝවිල රෝහලේ විස්සෙ වාට්ටුවට වුවමනා නොවන්නේ ඩෙන්සිල් සිල්වාගේ නොමසුරු මනුස්සකමින් පොහොසත් සේවය නිසාය. සමහරවිට මග නොහැර රෝගීන් අටක් දහයක් හෝ කඩිසරව ඉලක්කම්වලින් මිලක් ගැන නොසිතා බලා ගන්නා  මේ කාරුණික මිනිසාට විස්සේ වාට්ටුවේ කවුරුත් ආදරය කරති. ඔහුගේ සේවය  විස්සේ වාට්ටුවට පමණක් අවුරුදු පහළොවක් පරණය.

”මුදලට ලෙඞ්ඩු බලන අය සිල්වා මාමා කරන දෙයින් සියයට එකක්වත් කරන්නෙ නෑ.
ඒ අය කරන්නේ ළඟටවෙලා කනබොන එක.
ඒකයි සිල්වා මාමා වටින්නේ.

අපි වාට්ටුවෙන් ගෙදර එද්දී සතුටු වෙන්නෙ ඔහු.
ආයේ මේ පැත්ත පළාතෙ එන්න හිතන්න එපාලූ…”
ඒ කළුබෝවිල රෝහලේ විස්සේ වාට්ටුවේදි ඔහුගේ සේවය ලබාගත් මාලන් ජයකොඩි ඔහුගේ ෆේස්බුක් පිටුවේ ඩෙන්සිල් සිල්වා ගැන තැබූ සටහනක කොටසකි.

බියංකා  නානායක්කාර
ඡුායාරූප: ටෙරාන් නානායක්කාර