කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉකුත් 29 දා රාත්‍රී10.00 ට පමණ රතු නිවේදනයක් නිකුත් කළේ ය. එම නිවේදනය නිකුත් කරන විටද කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක තද වැසි තත්ත්වයක් සේම තද සුළං තත්ත්වයක්ද පැවතුණු අතර කොළඹ නගරයේ ස්ථාන රැසක ගස් ඉදිරී වැටී තිබුණි. එහෙත් දිවයිනට බලපෑ “ඔකී” (ජඬඩඪ) සුළි කුණාටුව ආපසු ගියේ ජීවිත එකොළහක්ද බිළිගනිමිනි.

“දිවයින ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට දිවයිනට නිරිත දෙසින් පවතින අතර, එය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි” බලා‍පොරොත්තු වේ. යනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉකුත් 29 දා රාත්‍රී 10.00 ට නිවේදනය කළේ ය.

මෙම “ඔකී” සුළි කුණාටුව උතුරු ඉන්දියානු මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වූවකි. මෙම සුළි කුණාටුවේ දැවැන්ත බලපෑම එල්ල වූයේ කොළඹ සිට හම්බන්තොට දක්වා වූ මුහුදු කලාපයට සහ ගොඩබිම් ප්‍රදේශයටය. බස්නාහිර සහ දකුණු මුහුදු කලාපය ඉතා රළු වූ අතර, මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 90 ත්, 100 ත් අතර අගයක් ගන්නේය.

ඉකුත් 29 දා ගාල්ල ප්‍රදේශයෙන් ධීවරයන් බොහෝ දෙනකු මුහුදු ගියේ මෙම සුළි කුණාටුව පිළිබඳ කිසිවක් නොදැනය. මෙලෙස මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රා 07 ක් පිළිබඳ නිසි තොරතුරක් නොලැබිම හේතුවෙන්, එම ධීවරයන් සොයා නාවික හමුදාවේ “ඩෝරා” යාත්‍රා සහ “සයුර” නෞකාව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරන ලදී. කෙසේ වුවද, දොඩන්දූව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් පස් දෙනකු මේ ලිපිය ලියන විටද අතුරුදන්ය.
“ඔකී” සුළි කුණාටුව කොළඹ නගරයේ ඇතුළු ප්‍රදේශ රැසක් ඉකත් 29 දා රාත්‍රී උඩු යටිකුරු කළේ ය. නගරයේ ස්ථාන රැසක ගස් ඉදිරී වැටී තිබුණි. ගස් රැසක් වාහන මතට වැටීම නිසා පුද්ගලයන් 21 දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

මෙම සුළි කුණාටුවේ බලපෑමෙන් උතුර, නැගෙනහිර, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම ප්‍රදේශවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති වූ අතර, බස්නාහිර, දකුණ, සබරගමුව ආදී ප්‍රදේශවලට විටින් විට හමන ලද සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50 ක පමණ අගයක් ගත්තේ ය.

අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක රැසකට නායයෑමේ නිවේදන නිකුත් කළේ ය. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයට රතු නිවේදන නිකුත් කෙරිණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළ පරිදි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 14617 ක පුද්ගලයන් 55855 ක් පීඩාවට පත් විය. පුද්ගලයන් එකොළොස් දෙනකුට දිවි අහිමි වූ අතර තවත් පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් විය. නිවාස 11,597 කට පමණ අර්ධ හානි සිදු විය. පූර්ණ හානි වූ නිවාස ගණන 430 කි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නුවරඑළිය, මහනුවර, මාත‍ලේ කෑගල්ල කළුතර ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට තවමත් නායයෑමේ අවදානමක් පවතින බව නිවේදනය කර ඇත. එබැවින් මෙම ප්‍රදේශවල කඳුකර ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව නායයෑම් පිළිබඳ දැඩි ලෙස විමසිලිමත්ව සිටින ලෙසද තවදුරටත් ඉල්ලා සිටී,
දැඩි වර්ෂාපතනයත් සමග නිල්වලා, කළු සහ ගිං ගඟේ ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සිකුරාදා දහවල් වන විට නිල්වලා ගඟේ ජල මට්ටම පිටාර මට්ටමට ළඟා වී තිබුණි. නිල්වලා ගඟේ පහළ නිම්නය සහ කිරමආර අවට සිකුරාදා දහවල් ගංවතුර තත්ත්වයක් ඇති වී තිබුණි. මෙය මහා ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යා හැකි බැවින් අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, මාතර, තිහගොඩ සහ කඹුරුපිටිය යන ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයන්හි පහත්බිම්වල පදිංචි ජනතාව අවදානයෙන් පසුවන ලෙසට ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ඉකුත් සිකුරාදා සවස් වන විටද දිවයිනේ බොහෝ ප්‍රදේශවලඩ දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙමින් පැවතුණි. මේ නිසා කඳුකර ප්‍රදේශ නායයෑමේ අවදානම සහ ගංවතුර අවදානම තවදුරටත් පවතී.

ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇති අතර ආපදාවටලක් වූ එක් පවුලකට කඩිනමින් රුපියල් 10.000 ක දීමනාවක් ලබා දීමටද කටයුතු යොදා ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග එක්ව ත්‍රිවිධ හමුදාව, ‍පොලිසිය, ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාල සහ ස්වේච්ඡා සංවිධාන සහන කටයුතුවල නිරත වී සිටී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන  පරිදි ඉකුත් සිකුරාදා සවස් කාලය වන විටදී “ඔකී” සුළි කුණාටුව කොළඹ සිට කිලෝ මීටර් 750 ක් පමණ ඈතට ගමන් කරමින් පැවතුණි. එබැවින් එහි බලපෑම යම් දුරකට අඩුවේ යැයි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නමුත්, උතුර, නැගෙනහිර, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලි මීටර් 100 ට වඩා තද වැසි ඇදහැලෙන බවත්, බස්නාහිර, දකුණ, සබරගමුව යන පළාත්වලට විටින් විට හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50 ක් පමණ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනෙන් වයඹ දෙසට ගමන් කරන “ඔකී” සුළි කුණාටුව ඉන්දියානු කලාපයෙන් ඉවතට ගොස් අරාබිය දෙසට ගමන් කරමින් පවතී, ඉවත්ව යන සුළි කුණාටුවෙන් ඉදිරි දිනවල බලපෑමක් නොවූවද නිරිතදිග දෙසින් සුළං හැමීම නිසා “නිරිත දිග මෝසම” වැනි තත්ත්වයක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සාලිය කුමාර ගුණසේකර

Untitled-4 dgwer dfg