ඕනෑම රටක ආර්ථික ජීවනාලිය ඒ රටේ කර්මාන්තකරුවාය. නිෂ්පාදකයාය. ශක්තිමත් දේශීය කර්මාන්ත සමූහයක් පවතින රටක අපනයන ඉහළය. ආනයන පහළය. විදේශ සංචිත ඉහළය. එහෙයින් ජනතාවගේ ජීවන මට්ටම ඉහළය.
ආර්ථිකය ශක්තිමත්ය. සෑම රටක්ම තම දේශීය කර්මාන්ත රැුක ගැනීම සඳහා දියුණු කිරීම ගත හැකි සෑම පියවරක්ම ගන්නේ එහෙයිනි. රජය තම රටේ දී පමණක් නොව විදෙස් රටවල දී ද සිය කර්මාන්තකරුවා වෙනුවෙන් පෙනී සිටින්නේ එහෙයිනි. පසුගිය දා මෙරටට නවසීලන්ත කිරිපිටි ආනයනය සම්බන්ධයෙන් ගැටලූවක් මතු වූ අවස්ථාවේ නවසීලන්ත අගමැතිවරයා කටයුතු කළ ආකාරයෙන් එය තහවුරු වෙයි.

බොහෝ රටවල් තම රට තුළ නිපදවන භාණ්ඩ හා සේවා ආනයනයේ දී ඉහළ ආරක්ෂණ බදු පනවා තිබේ. විදේශීය කිරිපිට සඳහා පහුගිය ආණ්ඩුව ඉහළ බදු පනවා තිබුණේ දේශීය කිරි ගොවියා ඇතුළු දේශීය කිරි කර්මාන්තය රැුක ගැනීමටය. එමගින් කිරි කර්මාන්තය ආරක්ෂා වූ අතර ඒ ආශ‍්‍රිත රැුකියා කරන දහස් ගණනකගේ ජීවන මාර්ග සුරක්ෂිත විය. ආනයනය කරන අල, ලූනු ආදී ආහාර සඳහා බදු පනවන්නේ දේශීය ගොවියා රැුක ගැනීම සඳහාය.

ඇතැම් ආර්ථික ක්ෂේත‍්‍රවල විදේශ ආයෝජන අවස්ථා සීමා කර ඇත්තේ ද දේශීය කර්මාන්තකරුවා රැුක ගැනීම පිණිසය. එම සීමාවන් අදාළ ක්ෂේත‍්‍රවල රැුකියා කරන මෙරට ජනතාවගේ රැුකියා සුරක්ෂිත කර දෙයි. රටින් පිටට මුදල් ගලා යෑම සීමා කරයි. දේශීය ආයෝජකයන්ට අත්දැකීම් ලබා ගැනීමට ඉඩ සලසයි. සිය කර්මාන්ත ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත කිරීමට මහෝපකාරී වෙයි.

එහෙයින් එම දේශීය කර්මාන්ත රැුක ගැනීම සඳහා පනවා ඇති විවිධ රෙගුලාසි සම්බාධක ලිහිල් කරනවා නම් එය කළ යුත්තේ එම කර්මාන්තවල සුරක්ෂිතභාවය තහවුරු වූ පසුය. එම කර්මාන්ත එවැනි රාජ්‍ය මැදිහත් වීමකින් තොරව ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග තරග කළ හැකි මට්ටමට දියුණු වූ පසුය. අද එවැනි සීමා නොමැති දියුණු රටවල අතීත ආර්ථික ක‍්‍රියාකාරකම් විමසා බලන විට ද තහවුරු වන යථාර්ථය එයයි.

එහෙත් එකී ආර්ථික දැක්මට සපුරා පටහැණි ලෙස විදේශීය ඒජන්තයන්ට මෙරට නාවික සේවා කටයුතු සියයට සියයක් විවෘත කිරීම සඳහා මෙවර අයවැයෙන් යෝජනා තිබේ.

1990 දශකයේ සිට දේශීය සමාගම්වලට සියයට හැටක් සහ විදේශීය සමාගම් සඳහා සියයට 40ක් ලෙස මෙරට නාවික කටයුතුවල නිරත විය හැකි ආකාරයට පනවා ඇති රෙගුලාසි අහෝසි කිරීමට ඉන් යෝජනා කෙරේ. මේ රෙගුලාසි නිසා අපේ රටේ දේශීය නාවික සමාගම් සමූහයක් බිහි වී රැුකියා දහස් ගණනක් නිර්මාණය වූ බවත් වාර්ෂිකව ඩොලර් මිලියන සිය ගණනක් රටට ලැබුණු බවත් අමතක කර තිබේ.

මේ නව යෝජනාව ක‍්‍රියාත්මක වුවහොත් දශක ගණනාවක් තිස්සේ සෙමෙන් වැඩෙන දේශීය නාවික කර්මාන්තයට කණ කොකා හඬනු ඇති අතර දහස් ගණනක් රැුකියා අවස්ථා අහිමි වී මෙතෙක් රටට ලැබුණු විශාල මුදලක් රටින් පිටට ගලා යනු ඇත. නාවික ක්ෂේත‍්‍රයේ දේශීය කර්මාන්ත බිඳ වැටී විදේශීය සමාගම්වල ආධිපත්‍යයක් නිර්මාණය වනු ඇත. මේ යෝජනාවට ආණ්ඩුවේම පාර්ශ්ව වෙතින් විරෝධය ප‍්‍රකාශ වන්නේ එහි ඇති මෙම අවාසිදායක තත්ත්වය නිසාය.
විශේෂයෙන්ම ආණ්ඩුවේ වරාය භාර ඇමැතිවරයා ප‍්‍රකාශ කරන්නේ මේ යෝජනාව ක‍්‍රියාත්මක වුවහොත් දේශීය නාවික කර්මාන්තය බිඳ වැටෙනු ඇති බවය.

ආණ්ඩුව තුළ පවා එකඟතාවක් නොමැති අවම වශයෙන් අදාළ විෂය භාර ඇමැතිවරයාගේ අනුමැතිය පවා නොමැති මෙවැනි යෝජනා ඉදිරිපත් කරන්නේ කවුද ඒ පිටුපස ඇති භූ දේශපාලන ආර්ථික අවශ්‍යතා කවරේද යන්න පිළිබඳ අප ගැඹුරින් විමසා බැලිය යුතුය.

ආණ්ඩුවේ වගකීම රටේ පවතින කර්මාන්ත ආරක්ෂා කර ගන්නා අතර තව තවත් කර්මාන්ත ආරම්භ කිරීමට දේශීය ආයෝජන දිරිගැන්වීමය. ඒ වගකීම පසෙක ලා මෙවැනි ආර්ථික සංහාර යෝජනා ක‍්‍රියාත්මක කිරීම නිසා සිදුවන්නේ දේශීය කර්මාන්තකරුවා කබලෙන් ළිපට වැටීමය. රට ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සිරකරුවෙක් වීමය.