රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියේ එක් පැතිකඩක් නියෝජනය වන්නේ එරට නිසිකලට පවත්නා මැතිවරණ ක්‍රමයයි. පශ්චාත් නූතන යුගයට පෙර අවදිවල පවා පිළිගත් මූලික සම්ප්‍රදාය තුළ ද මෙකී සම්ප්‍රදායක් ස්ථාපිතව තිබුණි. එහෙත් අපේ රටේ පසුගිය කාලයේ මැතිවරණ සිතියම අතුරුදන් වූ බව රහසක් නොවේ. එය රටක ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරකි.

සීමා නිර්ණයට මුවාවී රජය මැතිවරණය හිතාමතාම කල්දැමූ බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ සෙසු විරුද්ධ පක්ෂ ප්‍රකාශ කරයි.  සැබැවින්ම සීමා නිර්ණය සඳහා ගිය දුර වැඩි බව ස්වාධීන නිරීක්ෂකයන්ගේ ද මතය වී තිබේ. එසේ විශාල කාලයක් ගෙන නිර්මාණය කළ සීමා නිර්ණ ගැසට් පත්‍රයේ ද විශාල අඩුපාඩු තිබෙන බව මේ වන විට ගම්‍ය වෙමින් පවතී. මේ සියල්ල හරහා විනාශ වෙමින් තිබෙන්නේ මේ රටේ මිනිසුන්ගේ ඡන්ද බලය බව අමතක කළ යුතු නැත.

රටක අනාගතය භාර ගන්නේ තරුණයන් බව අවිවාදිත සත්‍යයකි. එහෙත් මතෛක් කල් මැතිවරණවල තිබූ තරුණ නියෝජනය මෙම නව ක්‍රමය යටතේ හමස් පෙට්ටියට දමා තිබේ. ලංකාවේ වර්තමානය වන විට තරුණ කෝටා එක යටතේ ඡන්දය ඉල්ලූ බොහෝ දෙනෙක් ඉහළ දේශපාලන ප්‍රතිරූපවල සිටිති.  දක්ෂ තරුණයන් අද වන විට ලෝකයේම බොහෝ ඉහළ මර්මස්ථාන අතික්‍රමණය කරද්දී ලංකාව  මේ අරඅඳින්නේ කුමකට ද යන්න නිශ්චිතව පැහැදිලි නැත. එය රට ආපස්සට හරවන ක්‍රියාදාමයක මුල වීමටද  ඉඩ තිබේ. තරුණ අසහනය පුපුරා යන්නේ  අවි ආයුධවලින් බව අතීතය සාක්ෂි දරයි. ඒ වෙනුවට කාන්තා නියෝජනය 25 දක්වා නව පනතින් ඉහළ දමා තිබේ. එය වෙනත් තලයක ගැඹුරින් සාකච්ඡා කළ යුතු මාතෘකාවකි. ලංකාවේ වැඩිපුර කාන්තාවන් ගෘහණියන් බව නැවත කිව යුතු නැත. මේ නව නිර්දේශය යටතේ මුළුතැන්ගෙයි පාලකවරියන් රටේ පාලකවරියන් බවට ඇද දමා තිබේ. මේ වන විට බොහෝ පක්ෂ තම අපේක්ෂක ලැයිස්තුවලට අවශ්‍ය කරන කාන්තාවන් නොමැතිව දැඩි අර්බුදයකට මුහුණපා තිබෙන බව දන්නෝ දනිති.

එපමණක් ද නොව සීමා නිර්ණය කිරීමේදී එහි විද්‍යාත්මක පදනම ජුවම දෝෂ සහිත බව බොහෝ දෙනා පෙන්වා දෙති. ඇතැම් ප්‍රදේශ නිර්ණය කිරීමේදී භූ විද්‍යාත්මක සාධක අමතක කොට ජනවර්ග අනුපාත අනුව කලාප බෙදූ බවට ද  තේරුම් ගැනීම අපහසු නැත. එය ද බරපතළ ක්‍රියාවකි. එහි වක්‍ර ප්‍රතිඵල රටට දායාද වන්නේ කලක් ගොස් බව තේරුම් ගැනීම අසීරු නොවේ. ඒකීයව පවතින රට ජාති, ආගම් පදනමෙන් බෙදා වෙන්කිරීම ජුගුප්සාජනක අපරාධයකි. ලෝකයම භීතියට පත් කළ ප්‍රභාකරන්ගේ ඒ රුදු ත්‍රස්තවාදය මුලිනුපුටා දමා තවමත් ගෙවී ගොස් ඇත්තේ දශකයට නොඅඩු කාලයකි. නැවතත් මේ උත්සාහ දරන්නේ එවැනි අදූරදර්ශී බලයක් රට තුළ කේන්ද්‍ර කිරීමට ද යන සැකය අප කා හමුවේත් පැනනගී. එහෙයින් වහාම මේ ගැටලු නිසි ලෙස නිවැරදි කිරීමත්, භූ විද්‍යාත්මක යථාර්ථය මත ගැසට් පත්‍රය යාවත්කාලීන කිරීමත් කළ යුත්තකි.

අතීතයේ පැවති කේවල ඡන්ද ක්‍රමයේදී තමන්ගේ ගමට ස්වාධීනව තරග කිරීමේ නිදහස එම ගමේ සිටින ඕනෑම කෙනෙකුට ලබාදී තිබිණි. එය මූලික මිනිස් අයිතිවාසිකමකි. එහෙත් වර්තමානයේ ප්‍රකාශිත ගැසට්පත්‍ර ප්‍රකාරව තම ඡන්ද බලප්‍රදේශයට ඒ ආකාරයට තනි ස්වාධීන අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අයිතිය මෙම ගැසට් පත්‍රය මගින් අවුරා තිබේ. ඒ වෙනුවට ඡන්ද බලප්‍රදේශ කිහිපයම නියෝජනය කරන සමස්ත පළාත් පාලන ඒකකයටම නියෝජිත කණ්ඩායමක් ඉදිරිපත් කළ යුතු බවත් මෙම ගැසට් පත්‍රයේ සඳහන්ව තිබේ. එයද නොගැලපෙන්නකි. කේවල ක්‍රමය යටතේ ඒ ඒ කුඩා බලප්‍රදේශවලට ද තනි තනි ස්වාධීන අපේක්ෂකයන් ඉල්ලීමේ නිදහස සහතික කිරීම රජයේ වගකීමකි.  එසේ නොවන කේවල ක්‍රමයක අගය තේරුම් ගත නොහැක්කකි.

අනෙක් අතට රටේ පළාත් පාලන නියෝජිත සංඛ්‍යාව ද මෙම ගැසට් පත්‍රය ඔස්සේ දෙගුණයක් බවට පත් කර තිබේ. එය ද කිසිසේත්ම අවශ්‍ය නොවන්නකි. අඩු තරමින් අලුතින් පත්වන මන්ත්‍රීවරුන්ගේ මාසික රැස්වීම් පැවැත්වීමටවත් හැකි ශාලා  මේ ආයතන සතුව  නැත. මේ සියලු මන්ත්‍රීවරුන් නඩත්තු කරන්නේ මේ රටේ අහිංසක මිනිසුන් බව අමතක කළ යුතු නැත. මේ සියල්ල දෙස බලද්දී පෙනී යන්නේ මෙම සීමා නිර්ණය ගැසට් පත්‍රය අවුල් ජාලාවක කසකරුවකු බවය. රටම ගිනි තබන්නට  පෙර නිවැරදි යාවත්කාලීන නව සීමා නිර්ණ විද්‍යාත්මක  ක්‍රියාවලියක් ඇති කිරීම කාගෙ කාගේත් යුතුකමකි.