ඉන්දීය ක්‍රිකට් පි‍ලේ වත්මන් වේග පන්දු බළඇණිය මතෛක් තමා මුහුණ දුන් හොඳම වේග පන්දු ප්‍රහාරය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ඊඩ්න් ගාඩ්න්හි පැවති ප්‍රථම ටෙස්ට් තරගය නිමාවෙන් පසු පැවසීය.

ඉන්දීය පි‍ලේ වේගපන්දුවට පණ පෙවූ බුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් සාමි හා උමේෂ් යාදෙව් විවිධ මාදිලියේ පන්දු යවමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝග කළ බවත්, ඒ නිසා පිතිකරුවන්ට ප්‍රථම ටෙස්ට් තරගයේ ලොකු පීඩනයක් ලැබූ බවත් චන්දිමාල් සඳහන් කරයි. පන්දු යැවීමේදී බුවනේෂ්වර්, ෂාමි හා යාදෙව් එකිනෙකට වෙනස් වර්ගයේ පන්දු යැව්වා. මේක ඉන්දීය පන්දු යවන්නන්ට මුහුණ දීමේදී ලොකු පීඩනයක් ගෙන දුන්නා යැයි චන්දිමාල් පැවසීය.

කෙසේ වුවත් ප්‍රථම ටෙස්ට් තරගය පුරාවට ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වූ ශ්‍රී ලංකා පි‍ලේ වේග පන්දු යවන්නා සුරංග ලක්මාල් ගැන වඩාත් ඇගයීමෙන් කතා කිරීමට චන්දිමාල් අමතක නොකළේ ය. ප්‍රථම ඉනිමේ කඩුලු 4 ක්ද, දෙවැනි ඉනිමේදී කඩුලු 3 ක්ද, ලැබූ ලක්මාල් සියයට සියයක් දායකත්වය ශ්‍රී ලංකා පිලට ලබාදුන් බවත්, ඔහු වැනි ක්‍රීඩකයකු කණ්ඩායමක සිටීම නායකයකුට ලොකු සවියක් බවත් චන්දිමාල් පැවසීය.

ඉන්දීය පිතිකරුවන් අතර ලොකුම තුරුම්පුව වූ නායක විරාත් කෝලි ප්‍රථම ඉනිමේ ලකුණු නොලබාම දැවී ගියද දෙවැනි ඉනිමේ ඔහුගේ සටන්කාමී ඉනිම නොවන්නට මෙම ප්‍රථම ටෙස්ට් තරගය ජය ගැනීමේ හැකියාව තිබුණු බවත්, කෝලි මෙම තරගයේ මුල් දින තුනේම ශ්‍රී ලංකා පිලට තිබූ වාසිය වෙනස් කිරීමට සමත් වූ බවද චන්දිමාල් පවසයි. කෝලි ලොව විශිෂ්ටම පිතිකරුවෙක්. කොහොම වුණත් ප්‍රථම ටෙස්ට් තරගය අවසන් භාගය වන තෙක්ම ශ්‍රී ල ංකා පි‍ලේ සටන්කාමීත්වය ඉදිරි ටෙස්ට් තරග සඳහා ලොකු රුකුලක් වන බව චන්දිමාල් පැවසීය.

ප්‍රථම ටෙස්ට් තරගය ජය පරාජයෙන් නිම කරනු ලැබූ ශ්‍රී ලංකා පිල ඊයේ (22) නාග්පූර්හි දෙවැනි ටෙස්ට් තරගය සඳහා පුහුණුවීම් වල යෙදීමට අවස්ථාව ලැබු අතර අද අවසන් පුහුණු සැසියෙන් පසුව හෙට (24) දෙවැනි ටෙස්ට් තරගය සඳහා අවසන් සැලසුම් යෙදීමට නියමිතය.

මේ අතර ඉන්දීය පිල මේ වන විටත් දෙවැනි ටෙස්ට් තරගය සඳහා බුවනේෂ්වර් කුමාර් හා ශිකර් ධවාන් විවේක ගන්වන බව පවසා ඇත. අද (23) බුවනේෂ්වර් තමාගේ විවාහ උත්සවයට සහභාගිවන බවද ඉන්දීය වාර්තා ප්‍රකාශ කරයි.

ප්‍රථම ටෙස්ට් තරගයේ වීරයා වූ බුවනේෂ්වර් ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූ 26 හැවිරිදි නුපූර් නගාර් සමග අද විවාහ දිවියට පත්වේ. බුවනේෂ්වර්ගේ පෙම්වතිය නුපූර් වෘත්තියෙන් ඉංජිනේරුවරියකි.

බුවනේෂ්වර් කුමාර් නුපූර් සමග විවාහයට පත් වීමෙන් පසුව තෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන දිල්ලිහි දී ශ්‍රී ලංකා – ඉන්දීය කණ්ඩායම් දෙකට විශේෂ සාදයක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

ධම්මික රත්නවීර