පාර්ලිමේන්තුව උත්තරීතර බව කියනු ලැබේ. එහෙත් ඒ උත්තරීතර පාර්ලිමේන්තුවේ වැඩිපුර කෙරෙන්නේ හිස් කතාය. දෙපිට කැපෙන කුණුහරුප කතාය. කටින් ගහ මරා ගැනීමය. මෙවැනි වැඩ නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය හෑල්ලූවට ලක්වන බව අමුතුවෙන් කිව යුතු නැත. රටට වැඩදායි ඵලදායි හරවත් යමක් එතැන කතාබස් වන්නේ එහෙමත් අවස්ථාවකය.

එවැනි වැදගත් අදහසක් පසුගියදා අයවැය විවාදය අතරතුර අසන්නට ලැබිණි. ඒ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන සියලූ දෙනාට උසස් අධ්‍යාපනය ලබා දීමට රජයට මුදල් නොමැති බවත් එහෙයින් පෞද්ගලික අංශය ඒ සඳහා සම්බන්ධ විය යුතු බවත්ය. මේ  ප‍්‍රකාශ කළේ උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. ඒ පිළිබඳ අප ගැඹුරින් විමසා බැලිය යුතුය.

මේ ප‍්‍රකාශය සත්‍යයක් වුවද යථාර්ථය වුවද අපේ රටේ ජනතාවට ඒ පිළිබඳ අවබෝධයක් නැත. වසරකට උසස් පෙළ විභාගය සමත් වන ප‍්‍රතිශතය 150 000ක් පමණ වුවද එම පිරිසෙන් රජයේ විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ 25000කට පමණි. ඒ විභාගයේදී ඉහළම ලකුණු ලබා ගන්නා පිරිසටය. මේ අනුව  එම විභාගයෙන් සමත් වන 125 000කට පමණ විශ්වවිද්‍යාල සුදුසුකම් සැපිරුවද අවස්ථාව නොලැබෙයි.

එම පිරිසෙන් කොටසක් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වෙති. ඒ සමග විශාල මුදලක් වාර්ෂිකව රටින් පිටතට ගලා යයි. රටේ ප‍්‍රමාණවත් තරම් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇත්නම් එම පිරිසට විදෙස්ගත වීමට සිදුවන්නේ නැත. එසේ වූයේ නම් එම මුදල රටේ ඉතිරි වෙයි. කෙසේ වුවද ඒ සඳහා විශාල මුදලක් උවමනා නිසා ඒ අවස්ථාව ලබා ගන්නේ සුළු පිරිසකි. මේ නිසා උසස් අධ්‍යාපන සුදුසුකම් සපුරාලන විශාල පිරිසකට ඒ අවස්ථාව නොලැබෙයි.

සුදුසුකම් ලබන සියලූ දෙනාට නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දීමට රජයට නොහැකිය. එවැනි ක‍්‍රමයක් කිසිම රටක ක‍්‍රියාත්මක වන්නේද නැත. ඇතැම් දියුණු රටවල අපේ රටේ මෙන් පිරිසකට හෝ නොමිලේ අධ්‍යාපනය ලබා දීමත් සිදු නොවන අතර සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා පොලී රහිත ණයක් ලබා දෙයි. එම ණය මුදල ඔවුන් උපයන විට කොටස් වශයෙන් නැවත අයකර ගනියි.

අපේ රටේ උසස් පෙළ විභාගයෙන් ඉහළින් සමත් වන පිරිසට නොමිලේ උසස් අධ්‍යාපන අවස්ථාව ලැබෙන අතර සෙසු පිරිසට කිසිදු සහනදායි ක‍්‍රමවේදයක් නැත. එහෙයින් එම පිරිස සඳහා ද සහන පොලියට ණය මුදලක් ලබා දිය හැකි නම් එය අධ්‍යාපන නිදහස තහවුරු කිරීමට ඉවහල් වෙයි. එලෙස ණය මුදලක් ලබා දුන්න ද එම සිසුන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාල තිබිය යුතුය.

ඒ සඳහා රජයේ විශ්වවිද්‍යාල ප‍්‍රමාණවත් නොවන අතර පෞද්ගලික විශ්වවිද්‍යාල උවමනාය. දැනට වෛද්‍යවිද්‍යාව හැරුණු විට සෙසු බොහෝ විෂය ක්ෂේත‍්‍ර සඳහා අපේ රටේ පෞද්ගලික විශ්විවිද්‍යාල කිහිපයක් තිබේ. පෞද්ගලික වෛද්‍යවිද්‍යාල නොමැති නිසා රජයේ විශ්වවිද්‍යාල අවස්ථා නොලැබෙන අයකුට වෛද්‍ය උපාධිය හැදෑරීමට වුවමනා නම් පිට රටකට යාමට සිදුවෙයි. එය පෙරද සඳහන් කළ ආකාරයට අධ්‍යාපනය ලබා ගැනීමට බාධාවකි.

මේ තත්ත්වය නිමා කිරීමට නම් රටේ විධිමත් ප‍්‍රමිතිගත පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් බිහිවිය යුතුය. එමගින් වසරකට උසස් අධ්‍යාපන වරම් ලබා රජයේ විශ්වවිද්‍යාල වරම් අහිමි වන 125000ක් පමණ වන පිරිසට තම අධ්‍යාපන කටයුතු නිදහසේ කරගෙන යාමට අවස්ථාව ලැබෙයි. එසේම පිටරට සිසුන්ට අධ්‍යාපනය ලබා දීම මගින් අතිවිශාල ධනස්කන්ධයක් වාර්ෂිකව උපයාගත හැකිය. චීනය වැනි සමාජවාදයට නැඹුරු දේශපාලන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන රටවල් පවා පෞද්ගලික විශ්වවිද්‍යාල අවස්ථා තව තවත් නිර්මාණය කරන්නේ එහෙයිනි.

එහෙත් අපේ රටේ වාමාංශික දේශපාලන පක්ෂ විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල නිදහස් අධ්‍යාපනය ගිලගන්නට උපන් මකරකු ලෙස වෙස් ගන්වා තිබේ. ඔවුන්ගේ තර්කය පෞද්ගලික විශ්වවිද්‍යාල නිසා රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය පරිහානියට පත්වන බවය. එහෙත් අපේ රටේ දැනටමත් ක‍්‍රියාත්මක පෞද්ගලික පෙර පාසල්, පාසල් සහ අතිරේක පන්ති නිසා රජයේ පාසල් එවැනි පරිහානියකට පත්වූ බවට සාධක නැත. පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය සේවා නිසා රජයේ රෝහල් වැසුණේ ද නැත.

එහෙයින් මේ පිටුපස ඇති යල්පැනගිය වාමාංශික දේශපාලන අභිලාෂ හඳුනාගත යුතුය. දැන් වාමාංශික දේශපාලන දර්ශනයක් ක‍්‍රියාත්මක වන රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල ක‍්‍රියාත්මක වුව ද ලංකාවේ වාමාංශිකයන් ඒ දෙස තවමත් බලන්නේ වපර ඇසිනි. නිදහස් අධ්‍යාපනය විනාශ වන බවට තර්ක කරමින් රටේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඔවුන් එරෙහි වන්නේ එම සැබෑ දේශපාලන අරමුණ ප‍්‍රකාශ කොට ජනතාව ඒ වෙත ආකර්ෂණය කරගත නොහැකි නිසාය.

ඉන් පීඩාවට පත්වන්නේ අවස්ථාව අහිමි වන්නේ එම දේශපාලන පක්ෂ නියෝජනය කරන බව කියන පීඩිත පන්තියටමය. මේ යථාර්ථය රටේ තරුණ පරම්පරාව මෙන්ම ජනතාවද අවබෝධ කරගත යුතුය. කෙසේ වුවද ආණ්ඩුව රජයේ විශ්වවිද්‍යාල සඳහා උවමනා පහසුකම් ලබා දෙමින් ඒවා මැනවින් නඩත්තු නොකිරීම පිරිසකට මෙලෙස බොරදියේ මාළු බෑමට අවස්ථාවක් නිර්මාණය කරන බව නම් නොකියාම බැරිය.