දෙපාර්ශ්වයේම සිටින අන්තවාදීන් මෙවැනි සිද්ධීන්ගේ මුවාවෙන් ජාතික අසමගිය ඇති කොට යම් යම් වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවත්, ඒ අන්තවාදීන් ස්වල්ප පිරිස් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙසත්, සාමය හා සමගිය ආරක්ෂා කිරීම සඳහා හැකි ශක්ති ප‍්‍රමාණයෙන් කැපවන බවත්, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

අග‍්‍රාමාත්‍ය  රනිල් වික‍්‍රමසිංහ මහතා එසේ පැවසුවේ ගිංතොට ප‍්‍රදේශයේ සංචාරය කරමින්, ප‍්‍රදේශවාසී සිංහල හා මුස්ලිම් ජනතාව හමුවූ අවස්ථාවේදිය.

එහිදී ”වසර ගණනාවක් තිස්සේ සමගියෙන් හා සාමයෙන් ජීවත්වූ ප‍්‍රදේශවාසීන් අතර අනවශ්‍ය ගැටුමක් ඇති කළ සියලූ බලවේග හඳුනාගෙන ඔවුනට දැඩි දඬුවම් පමුණුවන ලෙසත්, ප‍්‍රදේශයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් වනතුරු ආරක්ෂාව තර කරමින්, නීතිය අකුරටම ක‍්‍රියාත්මක කරන ලෙසත්” ජනතාව අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

වික‍්‍රමසිංහ මහතා ප‍්‍රදේශවාසී ජනතාව සමග සාකච්ඡුා කරමින් තත්ත්වය සමනය කොට සමගිව ක‍්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

තමන් මුහුණ පෑ අවාසනාවන්ත සිදුවීම් පිළිබඳවත්, අනාගතයේ ඒවා වළක්වාලීමට ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳවත් ප‍්‍රදේශවාසීහු කරුණු පෙන්වා දුන්හ.

මේ අවාසනාවන්ත සිදුවීම් සඳහා මුල් වූ ඇත්තේ සාමාන්‍ය සිදුවීමක් බවත්, එවැනි සිදුවීම් ප‍්‍රදේශයේ ජනතාවටම විස`දා ගැනීමට හැකි සුළු කරුණක් බවත් අවධාරණය කළ ප‍්‍රදේශවාසීහු, පිටස්තර පුද්ගලයන් පැමිණ මේ සිද්ධියට මැදිහත්වීම නිසා උණුසුම් පරිසරයක් නිර්මාණය වූ බව ද පෙන්වා දුන්හ.

ප‍්‍රදේශයට අවශ්‍ය  පූර්ණ ආරක්ෂාව නිරන්තරයෙන් ලබා දෙන ලෙස වික‍්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා තවදුරටත් මෙසේද පැවසීය.
”2005 ජනවාරියේ මේ රටේ බහුතර ජනතාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කොට, යහපාලන රජයක් පිහිටවූයේ ජාතික සමගිය හා සංහි`දියාව ශක්තිමත් හා තහවුරු කිරීමේ අරමුණින්. ඊට විරුද්ධ බලවේග හැමවිටම උත්සාහ දරන්නේ ජාතීන් අතර අසමගිය ඇති කොට තම තමන්ට වාසි ලබා ගැනීමටයි. අප ඒ පසුබිමද අවබෝධ කරගත යුතුයි.

මේ ප‍්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සියළු දෙනාම එකට එක්ව සමගි සම්පන්නව ජීවිත් වීමටයි. ඔවුන් වසර ගණනාවක් තිස්සේ එකට ජීවත් වෙන අසල්වැසියන්. මිත‍්‍රයන්. සමහරු අතර නෑකම්ද ඇතිවී තිබෙනවා.

සිදු වූ අවාසනාවන්ත තත්ත්වයට වගකිවයුත්තන් අපේ ආරක්ෂක අංශයන් නීතිය ඉදිරියට පමුණුවාවි. අප ඔවුන්ට කිසිදු බුරුලක් දෙන්නේ නෑ.

මේ සිද්ධිය අවස්ථාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සමහර පුද්ගලයන් අසත්‍ය ආරංචි පතුරවමින් රට ගිනි තැබීමට උත්සාහ කළා. බොරු දුරකථන ඇමතුම් දෙමින් ජනතාව ඇවිස්සීමට ක‍්‍රියා කළා. මේ ප‍්‍රදේශයේ ජනතාවත් ඒ පිළිබඳව මට කරුණු ඉදිරිපත් කළා. ඒ බොරු ප‍්‍රචාර පතුරවන්නන්ටත් නීතිය ක‍්‍රියාත්මක කරනවා.

මේ ප‍්‍රදේශයේ සමහරුන්ගේ දේපළ හානි සිදු වී තියෙනවා. ඒ සියල්ල පිළිබඳව පැමිණිලි ඔබේ නිවෙසටම පැමිණ සටහන් කර ගැනීමේ ක‍්‍රමවේදයක් සකසා තියෙනවා. ඒ වගේම සිදු වූ පාඩු තක්සේරු කිරීම සඳහා නිලධාරීන් යොදවා තිබෙනවා. සිදුවූ හානි සම්බන්ධයෙන් වන්දි ලබා දීම සම්බන්ධව ද අප ක‍්‍රියා කරනවා.”

ප‍්‍රදේශයේ ප‍්‍රජා පොලිස් කමිටු ශක්තිමත් හා ක‍්‍රියාකාරී කිරීමේ වැදගත්කම පිළිබඳව ද ප‍්‍රදේශයේ ජනතාව අගමැතිවරයා ඉදිරියේ අදහස් පළ කළහ. දැනටමත් ඒ ක‍්‍රියාවලිය ආරම්භ කර ඇති බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඒ අවස්ථාවේ පෙන්වා දුන්නේය.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ නීතිය හා සාමය සහ දක්ෂිිණ සංවර්ධන අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී  විජේපාල හෙට්ටිආරච්චි මහතා ද, ආරක්ෂක අංශ උසස් නිලධාරීහු ද මේ අවස්ථාවට එක් වූහ.

අකිලා නදීශානි බණ්ඩාර

Untitled-8