ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල පාකිස්තාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල සමග එක්දින හා ඕවර විස්ස-20 තරගාවලියක නිරත වෙමින් ප්‍රථම තරගය පහුගිය සඳුදා (20) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබිය. දෙවැනි ඕවර 50 තරගය අද (22) ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ ආරාධනාවෙන් මෙහි පැමිණි පාකිස්තාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල මෙවර ඕවර විස්ස-20 තරග තුනකටද සහභාගි වේ.

ජයලත් අ‍පෝන්සු ප්‍රධාන පුහුණුකරු ලෙසත්, අජිත් බණ්ඩාර සහාය පුහුණුකර ලෙසත් ක්‍රියා කරන ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් පි‍ලේ මෙම තරගාවලියේදී එක්දින නායක ලෙස තාරක සම්පත්ද, ඕවර විස්ස-20 නායක ලෙස සචිත් මාකරන්ද කටයුතු කරයි.

පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ අනුශූරතාව ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී ලැබූ ශ්‍රී ලංකා පිල එළැඹෙන 2018 වසරේ ඕවර විස්ස-20 ලෝක කුසලාන තරගාවලියට මුහුණ දීමට සූදානම් වන අතර මෙම තරගාවලියට ශ්‍රී ලංකා සත්කාරකත්වය දීමද කැපී පෙනේ.

ශ්‍රී ලංකා-පාකිස්තාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහාය ලබාදෙමින් තරග සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ ගාල්ල ක්‍රීඩාංගණය ලබාදීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා-පාකිස්තාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය
නොවැ. 20 – ප්‍රථම ඕවර 50 ක්‍රිකට් තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී
නොවැ. 22 – දෙවැනි ඕවර 50 තරගය ගාල්ලේදී
නොවැ. 23 – ප්‍රථම ඕවර විස්ස-20 තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
නොවැ. 24 – දෙවැනි ඕවර විස්ස-20 තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේදී
නොවැ. 25 – තෙවැනි ඕවර විස්ස-20 තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී

ධම්මික රත්නවීර