ලබන නොවැම්බර් 30 වැනි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය වෙනුවෙන් නාමයෝජනා භාරදී තිබූ අපේක්ෂකයන්ට එරෙහිව විශාල විරෝධතා ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබිම නිසා පසුගිය ඔලිම්පික් නිවහනේදී ඒ පිළිබඳව සිදු කරනු ලැබූ පරීක්ෂණයට චූදිත චෝදිත සියලු දෙනාටම සහභාගි වන ලෙස නිලවරණ කමිටුව විසින් ලිඛිතව දන්වා තිබුණද ඊට අමල්ලා දෙදෙනාම සහභාගි වී නැති බව වාර්තා වේ.

එයට සහභාගි වන ලෙස දන්වා යවන ලද ලිපියේ එදින නොපැමිණියහොත් නැවත දිනයක් ලබානොදෙන බව සඳහන්ව ඇති බැවින් නොපැමිණි අයට චෝදනාවන්ගෙන් නිදහස් වීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි යන්න වැඩිදෙනකුගේ අදහසය.

කෙසේ වෙතත් රජරට ප්‍රදේශයෙන් සභාපති තනතුරට නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයා තරගයෙන් ඉවත් කර ගැනීම සඳහා මරාගෙන මැරෙන සටනක නියැළී සිටින පිරිසෙන් තිදෙනකුම ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කර තිබූ බව දැනගන්නට ඇත.

එහෙත් එම තිදෙනාම චෝදනා වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ අදාළ තැනැත්තා ජාත්‍යන්තර විනිසුරුවකු වීම, ශ්‍රී ලංකාවේ මෑතකදී පවත්වන ලද ප්‍රධාන පෙළේ පාපැදි තරගයක තාක්ෂණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබිම හා ඔහුගේ එම සේවාවන් අගයා ජනාධිපතිවරයා විසින් සම්මානයක් ප්‍රදානය කර තිබිම යන කරුණුය.

අදාළ විරෝධතාවන්ට ප්‍රති උත්තර ලබාදී ඇති එම සභාපති අපේක්ෂකයා තමන් ජාතික විනිසුරුවකු නොවන බවත්, පනතට අනුව නිලතලවලට ඉදිරිපත් විය නොහැක්කේ ජාතික විනිසුරුවන්ට බවත් හා පාපැදි තරගයක තාක්ෂණ අධ්‍යක්ෂවරයාට තරගයේ ප්‍රතිඵලයට බලපෑමක් කිරීමේ හැකියාවක් නැති බව චෝදනා කරන්නන් නොදැන සිටීමත් අනුකම්පා කළ යුතු තත්ත්වයක් ලෙස සඳහන් කර තිබූ අතර පාපැදි ක්‍රීඩාව ඔස්සේ රටට කීර්තියක් අත්කර දීම පාදක කරගනිමින් ජනාධිපතිවරයා ප්‍රදානය කළ සම්මානය චෝදනාවක් ලෙස දැක්වීමෙන් ඔවුන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයද උපහාසයට ලක් කිරීමකැයි පෙන්වා දී තිබූ බව සඳහන්ය.

මේ අතර භාණ්ඩාගාරික තනතුරට මොරටුව ප්‍රදේශය නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටි පුද්ගලයකුට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා පත්‍රයට මෙම නිලවරණයේදී උප සභාපති තනතුරකට ඉදිරිපත්ව ඇති කාන්තාවකගේ සැමියකු අත්සන් කර තිබූ බැවින් එදින ඔහුටද නිලවරණ කමිටුව හමුවේ පෙනී සිටීමට සිදුව තිබූ බව පැවසේ.

එහිදී නිලවරණ කමිටුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට නිසි පිළිතුරු ලබාදීමට අ‍පොහොසත් වූ බවත්, නොගැළපෙන වගන්තියක් මතු කරමින් කරුණු ප්‍රකාශ කර ඇති බවත් අවසානයේ පිළිතුරු ලබාදීම සඳහා වෙනත් දිනයක් ඉල්ලා සිටි බවත් වාර්තා වෙයි.

මෙම තැනැත්තා සම්මේලනයේ ලියාපදිංචි වී ඇති විනිසුරුවකු නොවන අතර උප සභාපති තනතුරකට ඉදිරිපත් වී ඇති ඔහුගේ බිරිඳ විනිසුරුවරියක බැවින් පසුගියදා පවත්වන ලද ජාතික පාසල් ක්‍රීඩා උළෙ‍ලේ පාපැදි විනිසුරු කටයුතුවලට දෙදෙනාම විනිසුරුවකු නොවන පුත්‍රයාද එකතු කරගෙන සහභාගි වී තිබූ බවත් හා විනිසුරුවරියක වන ඇය උප සභාපති තනතුරකට ඉදිරිපත් වී ඇත්තේ කුමන පදනමක් යටතේදැයි යනුවෙන් බොහෝ දෙනකුම විමතිය පළකර ඇත.

වලිවීර