ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීම සඳහා සාකච්ඡා කිරීමට චන්දික හතුරුසිංහ ලඟදීම ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් රිවිරට පැවසීය.

නව පුහුණුකරු ධුරයේ වැඩකටයුතු පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කරගැනීමට හතුරුසිංහ ලබන සතියේ පැමිණීමට නියමිත බවත්, මේ වනවිට සියලු දේ වඩාත් හොඳින් සිදුවන බවත් පැවසූ ශ්‍රී ලංකා ක්‍රිකට් ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියා ක්‍රිකට් විධායක කමිටුව මගින් හතුරුසිංහ නව තනතුරට පත්කිරීම සඳහා අනුමැතිය ලැබි ඇති බවත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට පසුගිය ජුනි චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් පසු ග්‍රැහැම් ෆෝඩ් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් හදිසියේ ඉවත් වීම නිසා පුරප්පාඩු වූ තනතුරට අන්තර් පුහුණුකරු ලෙස මේ දක්වා නික් ‍පෝතස් ක්‍රියා කරයි.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් පි‍ලේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපිය පසුගිය ඔක්තෝබර් ලබාදුන් හතුරුසිංහ පිළිබඳව තවදුරටත් බලා‍පොරොත්තු රඳවා නැති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් පවසයි. ‘අපි හතුරුසිංහ ගැන බලාගෙන ඉන්නෙ නැහැ. ඔහුගෙන් අපට මෙම ඉල්ලා අස්වීමට හේතුව ලිපියකින් බලා‍පොරොත්තුවයි සිටින්නේ. හතුරුසිංහ එය පිළිබඳ වාර්තාව සති 2-3කින් ලබාදෙන බව ප්‍රකාශ කර තිබුණා. අප දැනගත යුතුයි හතුරුසිංහ ඔහුගේ පෞද්ගලික හේතුවක් නිසා අප හැරදා යනවාද නොඑසේ නම් අපි නිසාද ඔහු මෙම හදිසි සමුගැනීම සිදු කරන්නේ කියා. පෞද්ගලික හේතුවක් නිසා නම් කමක් නැහැ. ඒත් අපි එය දැනගත යුතුයි’ යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වුවත් හතුරුසිංහ ශ්‍රී ලංකා පිල සමග ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වුවහොත් ඔහුගේ මුල්ම රාජකාරිය වනුයේ එළැඹෙන ජනවාරි බංග්ලාදේශයේ පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගාවලියයි. මේ පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සඳහා බොහෝදුරට හිටපු බංග්ලාදේශ නායක කලීඩ් මහමුද් පුහුණුකරු ලෙස සේවයට ගන්නා බවයි.

ධම්මික රත්නවීර