‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් හා පාතාල කල්ලි සාමාජිකයන් අතර මීගමුව කුරණ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් පාතාල කල්ලි සාමාජිකයන්ට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල පෙරේදා (20) දා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී යළි කැඳවීය.

එම අවස්ථාවේ වෙඩි හුවමාරුව සඳහා භාවිත කළ ගිනි අවි සහ සෙසු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යවා විශ්‍ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයේ අවසර පැතීය. නඩු භාණ්ඩ 17 ක් රස පරීක්ෂක වෙත යවා විශ්‍ලේෂණ වාර්තා ලබා ගැනීමට අවසර පැතූ අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීහු මෙම නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කළහ.

පාතාල සාමාජිකයන් භාවිත කළ එම්. එම්. 9 වර්ගයේ රිවෝල්වරයක්ද, ටී-56 ගිනි අවියක්ද, ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් භාවිත කළ බව කියන ගිනි අවි 5 ක්ද, ඇතුළු නඩු භාණ්ඩ 12 ක් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එම නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යවා විශ්‍ලේෂණ වාර්තා ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරින්ට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පසුගිය (20) දා නියෝග කළේ ය.

එම සිද්ධිය වූ ස්ථානයට නුදුරේ පිහිටා ඇතැයි කියන මූල්‍ය ආයතනවලට මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරික පිරිස් සති අන්තයේ ව්‍යාපාරවලින් එකතුවන මුදල් බැංකුගත කිරීමට එන හෝඩුවාව මත මෙම පාතාල කල්ලිය එහි රැඳී සිටිය බවත් ‍පොලිසිය පැමිණියොත් ඒ සියලු දෙනාම ඝාතනය කිරීමට ගිනි අවි සූදානමේ තබාගෙන සිට ඇති බවත් ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි. මෙදින මෙම සිද්ධියට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටි පතිරණ චම්පික කුමාර ජයතුංග (28) රන්හොට්ගෙදර වජිර කුමාර (41) වෙදමාගෙදර ජනක අරුණ ශාන්ත, (40) අලවත්ත කංකානමලාගේ නරිඳු මධුෂ යන පාතාල කල්ලි සාමාජිකයන් හතර දෙනා බන්ධනාගාර නිලධාරින්ගේ විශේෂ ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ ‍පොලිස් කොස්තාපල්වරු වන (66203) උදය කුමාර, (87751) වාසල හා මීගමුව ‍පොලිසියේ නඩු කටයුතු භාර ‍පොලිස් සැරයන් (49241) එන්. එච්. ජිනදාස යන නිලධාරීහු නඩු භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කළහ. නැවත විභාගය 2017.12.04 වැනි දිනට කල් තැබුණි.

එස්. ප්‍රනාන්දු – මීගමුව