පසුගිය දා වවුනියාව ඉරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවක් සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේශන් මහතා ජාතික කොඩිය එසවීම ප‍්‍රතික්ෂේප කළේය.

ජාතික කොඩිය එසවීම සඳහා ඇමැතිවරයාට කළ ආරාධනය ඔහු ප‍්‍රතික්ෂේප කළ නිසා එහි පැමිණි පිරිස අපහසුතාවට පත් වූ අතර අනතුරුව සෙසු ආරාධිත අමුත්තන් සහ විදුහල්පතිවරයා ජාතික කොඩිය සහ බෞද්ධ කොඩිය ඔසවා උත්සවයේ කටයුතු ආරම්භ කළහ.

උතුරේ සිංහල පාසලක් වන පැරකුම් මහා විද්‍යාලයේ සිසුන් තූර්ය වාදන සහිතව මහත් හරසරින් උතුරේ අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිළිගැනීමට කටයුතු කළ අතර සිංහල දෙමළ භාෂාවලින් උත්සව සභාව මෙහෙය වීම ද දක්නට ලැබිණි. උතුරේ අධ්‍යාපන ඇමැතිවරයා ජාතික කොඩිය එසවීම ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳ සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති විය. මේ ඒ පිළිබඳ ආචාර්ය නලින් ද සිල්වාගේ අඅඅගන්ක්හ්ගදරට වෙබ් අඩවියේ පළ වූ ලිපියකි.*

උතුරු පළාතේ අධ්‍යාපන ඇමැති පාසල් උත්සවයක දී ජාතික කොඩිය එසවීම ප‍්‍රතික්ෂේප කරලා. ඔහු මෙරට රටවැසියකු නොවේද? ඔහුගේ ක‍්‍රියාව අනුමත කළ හැකි ද? ඊනියා සංහිඳියාව වෙනුවෙන් අප එවැනි ක‍්‍රියා නොසැලකිය යුතු ද? මෙය ටික දිනකින් උතුරේ ජනතාවත් අමතක කරාවි ද?

මහා බැංකුවේ අධිපති වීමට හා තවත් නිලතල දැරීමට රටවැසිකම අනිවාර්ය අවශ්‍යතාවක් නොවන බව රනිල් හා මෛත‍්‍රිපාල තීරණය කර තිබෙනවා. ගීතාට මන්ත‍්‍රී ධුරය අහිමි වුණේ රටවැසිකම නැති වීම නිසා නොව වෙනත් රටකත් රටවැසියකු වීම නිසා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරීමට මෙරට රටවැසිකම අනිවාර්යයි. මෙරට රටවැසියන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිගත යුතුයි. එයට ගරු කළ යුතුයි.

අර්ජුන් මහේන්ද්‍රන්ට ඒ කොන්දේසි තිබුණේ නැහැ. රනිල්ට තර්ක කරන්න පුළුවන් අර්ජුන් මහේන්ද්‍රන් මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රැුකීමට හෝ එයට ගරු කිරීමට බැඳි නැහැ කියා. රනිල් ඒ වගේ ම කියාවි මහා බැංකුවේ අධිපතිවීමට රටවැසිකම අනිවාර්ය අවශ්‍යතාවක් නොවන බව.

ඒ කුමක් වුවත් මහජන නියෝජිතයකු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගරු කළ යුතුයි. ඒ වගේ ම මහජන නියෝජිතයකු තබා ඡුන්දදායකයකු වීමටවත් බැහැ රටවැසියකු නොවන අයකුට. ජාතික කොඩිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හයවැනි වගන්තියෙන් නියම කෙරී තිබෙනවා. ජාතික කොඩිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි පරිශිෂ්ටය අනුව සකස් විය යුතු බවත් ඒ වගන්තියෙන් වැඩි දුරටත් කියැවෙනවා.

උතුරු පළාතේ අධ්‍යාපන ඇමැති කියන්නේ ඔහු ජාතික කොඩිය නොපිළිගන්නා බවයි. ඔහුට එසේ නොපිළිගැනීමට නොහැකියි. මෙරට දෙමළ ජාතිවාදීන් බටහිරයන්ට අනුව කියවන කතා රාශියක් තියෙනවා. ඒ කතා සිංහල නමින් පෙනී සිටින ඇතැම් පඬියන් ද කියනවා. ඔවුන්ට අනුව ජාතික කොඩියෙන් සිංහයා අයින් කරන්න  ඕන. බෝපත් හතර අයින් කරන්න  ඕන. ඒ සංකේතවලින් සිංහල බෞද්ධ ආධිපත්‍යයක් නිරූපණය වෙනව කියලා කියනවා.

එංගලන්තෙ ඉන්න දෙමළ ජාතිවාදීන්ට ඒ ප‍්‍රශ්නය නැහැ. ඔවුන් ක‍්‍රිස්තියානි වුවත් නැතත් ඊනියා එක්සත් රාජධානියෙ කුරුස කොඩිය පිළිගන්නවා. ඒකෙ කුරුස තුනක් තියෙනවා. එංගලන්තය ස්කොට්ලන්තය අයර්ලන්තය රටවල සාන්තුවරයන් තුන්දෙනකුගේ කුරුස කොඩි තුනක් එකතු කරලයි එක්සත් රාජධානියේ කොඩිය සකස් කර තියෙන්නෙ.

එංගලන්තෙ ඉන්න දෙමළ ජාතිවාදී හින්දුන් කියනවා ද කුරුස කොඩිය පිළිගන්නෙ නැහැ කියලා. එහෙමත් නැත්නම් මුස්ලිමුන් කියනවා ද අඩසඳ තාරකා කොඩිය එරට ජාතික කොඩිය ලෙස පිළිගන්න කියලා?

පසුගිය දා ඇමරිකන් එක්සත් රාජ්‍යයෙහි ජාතික ගීය ගැයීම පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිවුණා. පාපන්දු ක‍්‍රීඩකයන් කිහිප දෙනකු තරගවලට පළමු ජාතික ගීය ගැයීම ප‍්‍රතික්ෂේප කළා. ඔවුන් ඒ අවස්ථාවේ නැගිට නොසිට ක‍්‍රීඩාංගණයේ දණ ගහ ගෙන සිටියා. ඒ ක‍්‍රියාවට විරෝධතාවක් පැන නැගුණා. අපේ රටේ නායකයන් මෙන් නොව ට‍්‍රම්ප් එයට විරුද්ධව පෙනී සිටියා. ට‍්‍රම්ප් ඊනියා සංහිඳියාවක් ගැන කතා කෙළේ නැහැ. අවසානයේ දී පාපන්දු සංගමයට තීරණයක් ගන්න වුණා. දැන් ප‍්‍රශ්නය ඉවරයි.

ජාතික ගීය ජාතික කොඩිය ආදියට ඉතිහාසයක් තියෙනවා. එක්සත් රාජ්‍යයෙහි ජාතික කොඩිය කුරුස කොඩිය. ඒ රටට කිනම් හේතුවක් නිසා හරි පදිංචිවීමට යන අය එරට ඉතිහාසයට සංස්කෘතියට ගරු කළ යුතුයි. වවුලාගෙ ගෙදර ඉන්න  ඕන විධිය ගැන කතාවක් අප අතර තියෙනවා. රෝමයේ ඉන්න විට රෝමයකු ලෙස හැසිරිය යුතු බවට ඉංගිරිසි කියමනක් තියෙනවා. ඒ ඒ රටවල නායකයන් තම රටවල ඉතිහාසය සංස්කෘතිය ආරක්ෂා කිරීමට බැඳී ඉන්නවා.

ඇමරිකන් එක්සත් රාජ්‍ය එරට මුල් වැසියන්ගේ ඉතිහාසයට ගරු කරන්නේ නැහැ. ඒ ගැන නම් ප‍්‍රශ්නයක් තියෙනවා. එහෙත් සුද්දන් ඒ තත්ත්වයට පැමිණියේ එරට මුල් වැසියන් ඝාතනය කරලා, පරාජය කරලා. මා එය යුක්තියුක්ත කරනවා නො වෙයි. එහෙත් ලංකාවෙ දෙමළ ජාතිවාදීන් සිංහල බෞද්ධ ඉතිහාසයට ගරු කරන්නෙ නැත්තෙ සංස්කෘතියට ගරු කරන්නෙ නැත්තෙ සිංහලයන් පරාජය කරලා නො වෙයි.

ඉංගිරිසින් 1817-18 හා 1848 දී සිංහලයන් ඝාතනය කළත් ඔවුන්ටවත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්න බැරි වුණා. දෙමළ ජාතිවාදීන් ඉංගිරිසින්ගෙ අනුග‍්‍රහයෙන් 1833 සිට සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට උත්සාහ කළත් හැත්තැවේ දශකයේ ප‍්‍රභාකරන් සිංහල බෞද්ධයන්ට හා සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව අවි ගත්තත් අවසානයේ දී නන්දිකඩාල් කලපුවේ දී ඒ සියල්ල පරාජය වුණා.

අද මේ ඉංගිරිසින්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙන් හා අනුග‍්‍රහයෙන් පමණක් පවතින දෙමළ ජාතිවාදීන්ට කිසිම ඉඩක් නොදිය යුතුයි. දෙමළ ජාතිවාදී උතුරේ අධ්‍යාපන ඇමැති වැන්නන් පාසල් සිසුන් ඉදිරියේ මේ කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතිහාසය නොපිළිගන්නා බවයි. ඔහු එමගින් සිසුන්ට නරක ආදර්ශයක් දෙනවා.

මේ මහලූ නායකයන්ට අවශ්‍ය අනාගත ප‍්‍රභාකරන්ලා ඇති කිරීමටයි. දෙමළ ජාතිවාදීන් මෙසේ හැසිරෙන්නේ සිංහල නායකයන්ගේ නිවටකම නිසයි. රට  ජාතිය ආගමට ලැදි සිංහල නායකයන් අද නැහැ. ප‍්‍රශ්නය ඇත්තේ එතැනයි. මෛත‍්‍රිපාල මොන බයිලා කිව්වත් අද රණවිරුවන් හිරබත් කනවා. බුද්ධි අංශය දුර්වල කෙරිලා. දෙමළ ජාතිවාදීන් හිතනවා ඇති දැන් ප‍්‍රභාකරන් කෙනකුට ජයගත හැකිය කියා.

උතුරේ අධ්‍යාපන ඇමැති අස්කරන්න පුළුවන්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන එය ආරක්ෂා නොකරන පුද්ගලයකුට පළාත් සභාවක ඇමැතිකමක් දැරීමට බැහැ. එහෙත් ඔහු අස්කිරීමට තරම් පිට කොන්දක් ඇත්තේ කාට ද? මෛත‍්‍රිපාලට ද ඔහුගේ නියෝජිතයා වන රෙජිනෝල්ඞ් කුරේට ද?

ඊනියා සංහිඳියාවක් වෙනුවෙන් දෙමළෙන් ජාතික ගීය ගැයීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව ආණ්ඩුව පමණක් නොව ඇතැම් භික්ෂූන් වහන්සේ ද එකඟ වූ බව මෙහි දී මතක් වෙනවා. ජාතික ගීය දැන් ජාතික කොඩිය, මී ළඟට සංහිඳියාව වෙනුවෙන් අත් හරින්නේ දියාරු කරන්නේ කුමක් ද?

ආචාර්ය
නලින් ද සිල්වා