එච්.අයි.වී./ ඒඞ්ස් රෝග තත්ත්වය අද වන විට විශාල මානව ඛේදවාචකයක් බවට පත්ව අවසන්ය. ඒ සඳහා මෙතෙක් කිසිදු සාර්ථක ප‍්‍රතිකාරයක් සොයා ගෙන නැති අතර රෝග තත්ත්වය උත්සන්න වීම පාලනය සඳහා නම් යම් යම් ප‍්‍රතිකාර තිබේ. එහෙයින් එච්.අයි.වී./ ඒඞ්ස් රෝගය බෝ වීම පාලනය සහ බෝවීම වැළැක්වීම දැනට එකම විසඳුම බවට පත්ව ඇත.

මුල්ම එච්.අයි.වී. ආසාදිතයා 1981 වාර්තා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. මේ කාලයේ සමලිංගික පිරිමි අතර බෙහෙවින් ව්‍යාප්ත වූ එම ආසාදනය පසුව විෂම ලිංගිකයන් අතර ද ව්‍යාප්ත විය. 2016 වසරේ ලෝකයේ එච්.අයි.වී. රෝගීන් මිලියන 36.7ක් වාර්තා වී ඇති අතර මිලියනයක් පමණ මිය ගොස් තිබේ. 2015 වසරට සාපේක්ෂව 2017 වසරේ එච්.අයි.වී. රෝගීන් ලක්ෂ 3කින් පමණ ඉහළ ගොස් තිබේ. මෙමගින් එහි ව්‍යාප්තියේ වේගය හඳුනා ගත හැකිය.

ප‍්‍රථම වරට ලංකාවේ එච්.අයි.වී. ආසාදිතයකු වාර්තා වන්නේ 1987 වන අතර මේ වන විට ලංකාවේ එච්.අයි.වී. ආසාදිතයන් 2782ක් හඳුනා ගෙන තිබේ. මේ රෝගය නිසා දැනට ලාංකිකයන් 444 දෙනෙකු මිය ගොසිනි. 2017 වසරේ ඔක්තෝබර් මස වන විට පිරිමි 181ක් සහ ගැහැනු 45ක් වශයෙන් අලූත් රෝගීන් 226 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

එච්.අයි.වී. ආසාදනය වන්නේ මූලික වශයෙන් ක‍්‍රම තුනක් ඔස්සේය. ඒ ලිංගික ඇසුර, රුධිරය සහ මවගෙනි. එහෙත් මේ පිළිබඳ සමාජය එතරම් දැනුම්වත් නොමැත. ඒ නිසා විවිධ සමාජ ගැටලූ මතුව තිබේ. මේ නිසා රෝගීන්ට පමණක් නොව එම රෝගීන් සිටින පවුල්වල අයට පවා සමාජයේ විවිධ හිරිහැර කරදරවලට මුහුණ පෑමට සිදුව තිබේ.

එහෙයින් එම රෝග තත්ත්වය පිළිබඳ සමාජය දැනුම්වත් කිරීමට කටයුතු කිරීම අතිශය වැදගත්ය. විශේෂයෙන් එච්.අයි.වී./ ඒඞ්ස් ආසාදිතයන් සමග සාමාන්‍ය සමාජ සබඳතා පැවැත්වීමෙන් එම රෝගය ආසාදනය නොවන බව අවබෝධ කරදීම බෙහෙවින් වැදගත්ය. එවැනි දැනුමක් සමාජයේ තිබිණි නම් එච්.අයි.වී./ ඒඞ්ස් ආසාදිතයකුගේ දරුවකු සිය දරුවන් සිටින පාසලේ සිටීම මහා කලබැගෑනියකට නිමිත්තක් වන්නේ නැත.

ලංකාවේ දැනට මවගෙන් එච්.අයි.වී. ආසාදිත දරුවන් 82ක් ද සිටින බව ගෝලීය අරමුදලේ එච්.අයි.වී./ ඒඞ්ස් මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මිය ප‍්‍රකාශ කර තිබේ. ගැබිනි කාලයේ, ප‍්‍රසූති අවස්ථාවේ හෝ මව් කිරි ඔස්සේ මවගෙන් දරුවාට එච්.අයි.වී. ආසාදනය විය හැකිය. 2018 වසර වන විට මවගෙන් දරුවාට එච්.අයි.වී. ආසාදනය වීම වැළැක්වීම සඳහා 2014 වසරේ වැඩපිළිවෙළක් ආරම්භ කළ ද තවමත් එච්.අයි.වී. ආසාදිත දරුවන් වසරකට 80ක් 100ක් පමණ බිහිවිය හැකි බව ඈ වැඩි දුරටත් ප‍්‍රකාශ තිබේ.

මේ සඳහා සියලූ ගැබිනි මව්වරුන් එච්.අයි.වී./ ඒඞ්ස් පරික්ෂාවට භාජනය කිරීම, ආසාදිත මව්වරුන්ට ප‍්‍රතිකාර කිරීම ආදී කටයුතු කරනු ලැබේ. ඔවුන් මේ කටයුතුවල නිරත වන්නේ 2025 වන විට එච්.අයි.වී./ ඒඞ්ස් මරණ මෙරටින් තුරන් කිරීමේ අරමුණ ඇතිවය.

එහෙත් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙවැනි රුධිර පරික්ෂා කිරීම් සහ ප‍්‍රතිකාර පමණක් ප‍්‍රමාණවත් නොවන බව බලධාරීන් අවබෝධ කර ගැනීම වැදගත්ය. අපේ සමාජය තුළ ලිංගික කටයුතු පිළිබඳ වැඩිහිටියන් සහ දරුවන් විවෘතව කතා කිරීමක් සිදු නොවන නිසා බොහෝ විට ඒ පිළිබඳ දරුවාට ලැබෙන්නේ වැරදි අදහස්ය. උපදෙස්ය. මේ තත්ත්වය ලිංගික රෝග පැතිරී යාමට මූලික හේතුවකි.

එහෙයින් තරුණ පරපුරට ලිංගික කටයුතු පිළිබඳ විධිමත් දැනුමක් ලබා දීම වැදගත්ය. විශේෂයෙන් සාමාන්‍ය පෙළට පසු දරුවකු තරුණයකු තරුණියක ලෙස සමාජගත වීමට පෙර එම දැනුම ඔවුන්ට ලබා දීමට කටයුතු කිරීම වැදගත්ය. එමගින් රෝගය පමණක් නොව රෝගීන්ට එරෙහිව ඇති වන සමාජ අකටයුතු ද පාලනය කළ හැකිය. මෙවර ලෝක ඒඞ්ස් දිනය වෙනුවෙන් ක‍්‍රියාත්මක කෙරෙන වැඩසටහන්වල දී ඒ පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් බෙහෙවින් වටී. ඒ සඳහා තවත් දින ගණනාවක් ඉතිරි වී තිබිය දී මේ සටහන තබන්නේ එහෙයිනි.