ආගරපතන – ඩයගම ‍පොලිස් බල ප්‍රදේශයට අයත් ඩයගම බටහිර අංක 1 කොටසේ වතු පාස‍ලේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් හදිසියේ රෝගාතුර වී ඊයේ (21 දා) උදෑසන 10.00 ට පමණ ඩයගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව ඩයගම ‍පොලිසිය සඳහන්කරයි.

ප්‍රාථමික පාසලක් වන එම පාස‍ලේ අධ්‍යාපනය 1 වසරේ සිට 5 වසර දක්වා සිසුන්ගෙන් ළමුන් හතළිස් දෙදෙනකු රෝහල්ගත කර ඇත. ඉන් හතළිස් එක් දෙනකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ෙගාස් ඇති අතර, ඉන් එක් සිසුවකු පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ඩයගම රෝහ‍ලේ වෛද්‍යවරයෙක් පැවසීය. ක්ලාන්තය, වමනය යන රෝග ලක්ෂණ ඇතිව මෙම සිසුන් පිරිස රෝහල්ගත කළ බවත්, එම සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් එම වෛද්‍යවරයා පැවසීය.

ඉකුත් (19 දා) ඩයගම ප්‍රදේශයේ හින්දු කෝවිලක පැවති උත්සවයකදී දහවල් ලබාදුන් දන්සලකින් ආහාර ලබා ගත් වැඩිහිටියන් පිරිසක්ද මීට ප්‍රථම මෙවැනිම රෝග ලක්ෂණ යටතේ රෝහල්ගත කර ඇති අතර ඊයේ (21 දා) රෝගාතුර වූ පාසල් සිසුන්ද එදින මෙම දන්සලෙන් ආහාර ලබාගෙන ඇති බව ඩයගම ‍පොලිසිය සඳහන් කරයි.

මෙම පාස‍ලේ විදුහල්පතිවන ආර්. ජී. නඩරාජා මහතා පවසන්නේ පෙරේදා (20 දා) දිනයේ දීම වරින්වර සිසුන් සඳහා මෙම රෝග ලක්ෂණ මතු වූ නිසා සිසුන් පිරිසක් නිවාස වෙත යැවූ බවත්, ඊයේ (21 දා) දිනයේ 1 සිට 5 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් හතළිස් දෙදෙනකු රෝහල් ගත කළ බවත්ය.

මෙම සිද්ධිය පිළිබඳ ඩයගම ‍පොලිසිය සහ ඩයගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වෙන වෙනම පරීක්ෂණ පවත්වන බවද ඩයගම ‍පොලිසිය සඳහන් කරයි.

රංජිත් රාජපක්ෂ – හැටන්