හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය අසල තැලිගම, මල් ආර වනසංරක්ෂණ රක්ෂිත ප‍්‍රදේශය තුළ සතුන් දඩයමේ ගිය පුද්ගලයින් තිදෙනෙකු හම්බන්තොට වනජීවී නිලධාරීන් හා පන්වැව පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (21) අළුයම සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් තිදෙනා ආයුධත් සමග වන සතුන් දඩයමේ යෙදෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 පතොරම් තුවක්කුවක්, බෝර 12 ජීව උණ්ඩයක්, හිස් පතොරම් කොපුවක්, විදුලි පන්දම් 2ක්, දඩයම් කරන ලද සතුන් මස් කිරීමට උපයෝගී කරගන්නා පිහි 2ක් හා කොට කැබැල්ලක්, මස් තැවරුණු භාජනයක් හා මරණ ලද හාවෙකුගේ ශරීර කොටස් කිහිපයක් නිලධාරීන් භාරයට ගෙන තිබුණි.

අත්අඩංගුවට පත් සැකකරුවන් හම්බන්තොට බඳගිරිය, යහන්ගල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසේ.

ඔවුන් හම්බන්තොට මහේස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කර ඇති සියලු චෝදනාවලට ඔවුන් වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් 130,000 ක දඩ නියම කර ඇත.

අජිත් පුෂ්පකුමාර – අම්බලන්තොට