ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන අලෙවි හා ප්‍රවර්ධන නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය විසින් යුද හමුදා පැරා ක්‍රීඩා උළෙ‍ලේ සංවිධායකයන් වෙත අනුග්‍රහය පිරිනැමූ අවස්ථාව. ඒ සඳහා මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.ඩී.පී. ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් එච්.ආර්. වික්‍රමසිංහ, කර්නල් එම්.ඒ.ආර්. ගුණසේකර හා පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සාජන් එච්.එම්.ඩී.පී. හේරත් යන හමුදා නිලධාරීහුද සහභාගි වී සිටියහ.

වසර 30ක් තිස්සේ පැවති වර්ගවාදී යුද්ධය හේතුකොටගෙන ආබාධයන්ට ගොදුරු වූ හමුදා නිලධාරීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඇරඹුණ යුද හමුදා පැරා ක්‍රීඩා උළෙ‍ලේ 20 වැනි පියවර 2017 නොවැම්බර් 22 සිට 24 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙවරද මෙම ක්‍රීඩා උළෙල පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සපයන සමාගමක් වන ඩයලොග් ආසියාටා ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිවය.

ආබාධයන්ට ගොදුරුවූවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නංවා ගැනීමට අවකාශ සපයා දී ඔවුන්ගේ දස්කම් ජාත්‍යන්තර මට්ටමට රැගෙන යන අපේක්ෂාවෙන් අරඹන ලද මෙම ක්‍රීඩා උළෙල හරහා ජාතික පැරා සංචිතය වෙනුවෙන් යුද හමුදා ක්‍රීඩකයන් තෝරා ගැනීම, ජාත්‍යන්තර තරග සඳහා සුදුසු ක්‍රීඩකයන් සහභාගි කරවීම හා ලබන වසරේ පැවැත්වීමට නියමිත ආසියානු පැරා ක්‍රීඩා උළෙලට යුද හමුදා ක්‍රීඩකයන් යොමු කිරීම මෙවර ප්‍රධාන ඉලක්කයන් ලෙස සඳහන් වේ.

එසේම මෙවර තරගාවලිය කණ්ඩායම් ක්‍රීඩාවන් 12කින් හා මලල ක්‍රීඩා ඉසව් 72කින් සමන්විතය. ඊට සහභාගි වන ක්‍රීඩකයන් ශාරීරික දුබලතා, දෘෂ්‍යාබාධ හා රෝද පුටුවට සීමාවූ වශයෙන් කාණ්ඩ 3ක් යටතේ තරග වැදීමට නියමිතය. මේ සඳහා රෙජිමේන්තු මූලස්ථාන බළඇණි 11ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 700 දෙනකු පමණ සහභාගි වෙයි.

ක්‍රීඩා උළෙලට දුණු ශිල්පය, බැඩ්මින්ටන්, පාපැදි, වෙඩි තැබිම, මේසපන්දු, සවි එසැවීම, රෝද පුටු මැරතන්, රෝද පුටු ටෙනිස්, පිහිනුම්, වොලිබෝල්, වෙරළ වොලිබෝල්, පැරා ඔරු පැදීම සහ මලල ක්‍රීඩා යන ක්‍රීඩාවන් ඇතුළත්ය.

මෙහිදී දස්කම් දක්වන ක්‍රීඩකයන්ට 2018 වසරේ පැවැත්වෙන ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් ස්ථාපිත කරන සංචිතයට ඇතුළත් වීමේ අවස්ථාවද හිමිවෙයි.

සීවලී එදිරිවීර