ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ පසුගියදා පැවැති තෙවැනි වටයට අයත් තරග දෙකේදීම අනපේක්ෂිත පෙරළිකාර ප්‍රතිඵල සටහන් වීමෙන් ක්‍රීඩා ලෝලින් තුළ තරගාවලිය පිළිබඳ එතෙක් තිබූ උනන්දුවද ඉහළ නැගි බව දක්නට ලැබිණි.

එහිදී මතෛක් තමන් සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කොට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටි හැව්ලොක්ස් පිල වැලිසරදී නාවික හමුදාව සමග කළ සටනින් ලකුණු 25-14ක් ලෙස ලබාගත් පළමු පරාජය කොළඹ රැගෙන එන්නට හැව්ලොක්ස් පිලට සිදුවිය.

තරගයේ පළමු භාගයේදීද ලකුණු 22-7ක් ලෙස ඉදිරියෙන් පසවූ නාවික හමුදාව උත්සාහක දිනුම් 3ක් ප්‍රවර්තන දෙකක්, දඬුවම් පහරක් හා ඩේ‍රාප් ගෝලයක් ඔස්සේ ලකුණු රැස්කර තිබූ අතර හැව්ලොක් පිල උත්සාහක දිනුම් දෙකකින් හා ප්‍රවර්තන දෙකකින් ලකුණු රැස් කර තිබුණි.

නාවික හමුදාව වෙුවෙන් ලකුණු 10ක්ම ලබා දෙමින් තිළිණ වීරසිංහ කැපී පෙනුණි.
මේ අතර තුරඟ තරග පිටියේ පැවැති තරගයේදී වසර කිහිපයක් තිස්සේම මෙම තරගාවලිය තුළ එකම ජයග්‍රහණයක් හෝ වාර්තා කිරීමට අසමත්ව සිටි සී.එච්. පිල එක දිගට ලබා තිබූ තරග 30ක පරාජය 31 වනි තරගයේදී මකා දමා තිබුණේ ඔවුන්ගේ පසමිතුරු ක්‍රීඩා සමාජය වන සී.ආර්. පිල ලකුණු 19-22ක් ලෙස පරාජය කරමිනි. පළමු භාගයේදී තරගයේ පාලනය තමන් වෙත රඳවා ගන්නට සමත් වූ සී.එච්. පිල එම අවස්ථාවේදීද ලකුණු 11-07ක් ලෙස වාසි අත්කර ගන්නට සමත්ව සිටියේය.

ලීකීගල් වාර්තා කළ උත්සාහක දිනුම් දෙකකින් හා සැමුවල් මධුවන්ත වාර්තා කළ දඬුවම් පහර තුනකින් සී.එච්. පිල ලකුණු රැස් කරද්දී සී.ආර්. පිල උත්සාහක දිනුම් දෙකකින් හා එක් ප්‍රවර්තනයකින් ලකුණු රැස් කර තිබිණි.

සීවලී එදිරිවීර