ආණ්ඩු පක්ෂ විපක්ෂ භේදයක් නැතිව බොහෝ දේශපාලනඥයන්ගේ රෙදි ගැලවීමට හේතු වූ බැඳුම්කර විමර්ශන කොමිසම නිසා තවත් සුවිශේෂ කරුණු රැසක් එළියට ආවේය.

ඒ කූප්‍රකට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ 8 වැනි කෝප් කමිටුව පරීක්ෂණ පවත්වද්දී එහි සාමාජික මන්ත්‍රීවරුන් 28 දෙනාගෙන් පස් දෙනකු පර්පචුවල් ටේ‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සබඳතා පැවැත්වූ බව තහවුරුවීමය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප ‍පොලිස් පරීක්ෂක  යසන්ත යෙහාන් ජයසිංහ බැඳුම්කර කොමිසම හමුවේ ඉකුත් 16දා හෙළිකළ පරීක්ෂණ වාර්තාව අනුව ඒ කරුණු තහවුරු විය.

ඒ පර්යේෂණ වාර්තාව අනුව  සුජීව සේනසිංහ 62 වතාවක් ද, හෙක්ටර් අප්පුහාමි  23 වතාවක් ද, හර්ෂණ රාජකරුණා 23 වතාවක් ද, අජිත් පී. පෙරේරා 2වතාවක් ද, දයාසිරි ජයසේකර 2 වතාවක් ද බැඳුම්කර පරීක්ෂණ පැවැත්වෙද්දී අර්ජුන් ඇලෝසියස් සමග දුරකථනය මගින් සම්බන්ධවී ඇත.

එසේම අර්ජුන් ඇලෝසියස් රවිට 84 වතාවක් ද, ඔහුගේ බිරිඳට 320 වතාවක් ද, ඔහුගේ දියණිය වන ඔනෙල්ලාට 18 වතාවක් ද, දුරකථන ඇමැතුම් ලබාදී තිබේ. ඒ අනුව  රවි කරුණානායකගේ පවු‍ලේ අය සමග ඇලෝසියස් 476 වතාවක් දුරකථන සම්බන්ධතා පවත්වා තිබේ. බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටු පරීක්ෂණය පැවැත්වූ 2016 මැයි මස 6 දා සහ 2016 ඔක්තෝබර් 28 දා අතර කාලයේදී මෙකී මන්ත්‍රීවරුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇත. මෙයට අමතරව ඇලෝසියස් මහ බැංකුවේ සහ සේවක අර්ථ සාධක අරමුද‍ලේ සේවකයන් සමග ද දුරකථන මගින් නිතර ගනුදෙනු කර ඇති බව තහවුරු විය.

මෙකී විශේෂ තාක්ෂණික කරුණු ඇතුළත් වාර්තාව පදනම් කරගෙන අපට කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ හැකිය. එමගින් පැනනගින පළමු ප්‍රශ්නය නම් මේ රටේ ජනතාව දහසක් බලා‍පොරොත්තු තබාගෙන පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රීලා පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් ද? එසේත් නැත්නම් අගක් මුලක් නැති කළු සල්ලිකාරයන් වෙනුවෙන්ද යන්නයි. කෝප් කමිටුවක් වැන්නකින් ජනතාව අපේක්ෂා කරන්නේ සාධාරණත්වයයි.

එහෙත් තවදුරටත් එවැනි කමිටු පිළිබඳ විශ්වාසය තබා ගත හැකිද? මෙවැනි කමිටුවලට පත්කරන පාර්ලිමේන්තු  නියෝජිතයන්  කෙරෙහි විශ්වාසය තබාගත හැකි ද? වැනි ගැටලු ද පැනනැගේ. සැබවින්ම ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ පාර්ලිමේන්තුවක් නඩත්තු කරන්නේ කුමට ද? මන්ත්‍රීවරු කළු සල්ලිකාරයන්ට යටවේ නම් පාර්ලිමේන්තුවෙන් ජනතාවට සෙතක් වේ යැයි අපේක්ෂා කළ හැක්කේ කෙසේද?

මෙකී මන්ත්‍රීවරුන්ගේ නම් කෙරෙහි අවධානය යොමු කරන කල පෙනෙන්නේ  අර්ජුන් ඇලෝසියස් සමග සබඳතා පැවැත්වූ බහුතරය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නන් බවය. මේ අතරින් ඇලෝසියස් සමග බෙහෙවින් දුරකථන සම්බන්ධතා පවත්වා තිබෙන ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ රාජ්‍ය ඇමැති ධුරය දරන සුජීව සේනසිංහ වරක් අධිකරණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ධුරය දැරුවෙකි. එසේම ඉකුත් කාලවලදී බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනමාධ්‍ය ඔහුට ඇඟිල්ල දිගු කරද්දී  ඔහු ඒවා උපහාසයෙන් බැහැර කළේය. එසේම නඩු දමන බව ද පැවසීය.

පාර්ලිමේන්තුවේ දී සුජීව සේනසිංහ ඇමැතිවරයා සහ අර්ජුන් ඇලෝසියස් අතර පැවති දුරකථන සබඳතා ගැන විමසද්දී ඔහු  ඒවා ප්‍රතික්ෂේප නොකර ප්‍රශ්න කළ අයට මඩ ප්‍රහාර එල්ල කරමින් මගහැරියේය. සැබැවින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කරුණු ඇතුළත් වාර්තාව ගැන සුජීව සේනසිංහ ඇතුළු මැති ඇමැතිවරුන් තම මතය රටට ප්‍රකාශ කළ යුතුය.

මෙසේ කෝප් කමිටු පරීක්ෂණ පවත්වන අතරේ අර්ජුන් ඇලෝසියස් සමග සබඳතා පැවැත්වූ  එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට එජාප නායකත්වය පියවර ගන්නේ ද නැද්ද යන්න ඉදිරියේදී හෙළි වනු ඇත. අප දන්නා පරිදි මන්ත්‍රීවරුන්ගේ වැරදි සම්බන්ධයෙන් මේ රටේ  ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විනය ක්‍රියාමාර්ග ගැනීමට එතරම් උනන්දු වන්නේ නැත. එහෙයින් ජනතාව මෙවැනි දේශපාලනඥයන් පිළිබඳ හොඳින් මතක තබාගෙන නිසි ක්‍රියාමාර්ග ගැනීමට වගබලා ගත යුතුය.

කොහොම නමුදු ඇලෝසියස් සමග සබඳතා පැවැත්වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් එළියට එන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසම හමුවට යෑමට සූදානම් වීමට යන අතරේ වීම විශේෂ කරුණකි.  එක් පැත්තකින් එය අගමැතිවරයා අපහසුතාවට පත්කිරීමට හේතුවනු ඇත. අගමැතිවරයාගේ සාක්කි දීමෙන් පසු බැඳුම්කර කොමිසම  ඉතාම තීරණාත්මක අදියර පසුකරනු ඇත.

කෙසේ වුවත් බැඳුම්කර කොමිසම නිසා දේශපාලනඥයන්ගේ රෙදි ගැලවී ගියේය. එය රටේ ඊළඟ දේශපාලන පෙරළිය සඳහා  අපට පසුබිම් කර ගත හැකිය. තවදුරටත් මෙකී සාම්ප්‍රදායික දේශපාලනඥයන් පසුපස යනවාද? එසේත් නැත්නම් වෙනත් විකල්ප දේශපාලන බලවේගයක් ගොඩනැගීමට එක්රොක් වෙනවාද යන්න තීරණය කිරීමට ජනතාවට කාලය එළඹ තිබේ. කාලෙන් කාලෙට රට හොර කණ්ඩායම්වලට  පැවරීම නතර කිරීමට මේ කාලයයි. මෙයට පෙර ද අප සඳහන් කළ පරිදි බැඳුම්කර විමර්ශන වාර්තාව පදනම් කරගෙන යුක්තිය ඉටුවීම ජනතා අපේක්ෂාවයි. එසේ නොවුණ හොත් එය දේශපාලන හා සමාජ අරාජිකත්වයකට හේතුවනු ඇත. බැඳුම්කර මගඩියට සම්බන්ධ දේශපාලනඥයන්ට, නිලධාරීන්ට කිසිදු තරාතිරමක් නොබලා දඬුවම් කළ යුතුය. ඒ සඳහා ජනාධිපතිවරයා ජු ස්ථාවරයක සිටීම යුක්තිය අපේක්ෂා කරන ජනතාවගේ සතුටට හේතුවේ. ජනාධිපතිවරයාගේ එකී ස්ථාවරය නොමැති නම් බැඳුම්කර විමර්ශන කොමිසම මෙතරම් දුර ගමන් කරන්නේ නැත. එනිසා රට බලාගෙන සිටින්නේ ජනාධිපතිවරයා දෙසය.

යම්හෙයකින් බැඳුම්කර විමර්ශන කොමිසමේ වාර්තාව පදනම් කරගෙන අධිකරණ ක්‍රියාමාර්ගයකට ගමන් කළ හොත් එය ජනාධිපතිවරයාට එරෙහි ප්‍රධාන දේශපාලන කුමන්ත්‍රණයකට මග පාදනු ඇත. එහෙයින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩුව තුළ තමන්ගේ කණ්ඩායම ශක්තිමත් කරගැනීම අත්‍යවශ්‍ය පියවරකි.  කොහොම නමුදු ජනාධිපතිවරයා දිගටම ජු පියවරක සිටින්නේ නම් රටේ සමාජ බලවේගය ඔහු සමග එකට සිටගනු ඇත. මෙකී සමාජ බලවේගය ජනාධිපතිවරයාගේ ප්‍රධානම ආරක්ෂක වළල්ල වනු ඇත.

මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්ව දෙක වන ශ්‍රීලනිපය හා එජාපය අතර හොඳ හිත ද වේගයෙන් පළුදුවෙමින් තිබේ. ඒ බව තහවුරු වන සැර කථාවක් ඉකුත් දිනක ඇමැති ඩිලාන් පෙරේරා කීවේය. ඔහුගේ එකී කතාවෙන් කොටසක් මෙසේය.

“ජනාධිපතිවරයාගේ ඉහට උඩින් කාක්කන්ට පියාසර කරන්න පුළුවන්. එතුමාගේ ඔළුව උඩ ඕනනම් කූඩු හදන්නත් පුළුවන්. හැබැයි ජනාධිපතිවරයාගේ ඔළුව උඩ කූඩු හදලා අසූචි දාන්න ආවොත් එක්සත් ජාතික පක්ෂයේ එවුන්ට කියනවා අපිත් නිකං ඉන්නේ නැහැ කියලා”

සැබැවින්ම මේ කතාවෙන් එළියට එන්නේ එක්සත් ජාතික පක්ෂය හා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිවී තිබෙන ගැටුමය. මේ කණ්ඩායම් දෙක අතර ගොඩනැගී තිබෙන සම්මුතිය දෙසැම්බර් මාසයේදී අවසන් වනු ඇත. මෙකී සම්මුතිය ඉතාම නරක විදියට අවසන් විය හැකි බව  උද්ගතව තිබෙන දේශපාලන ප්‍රවණතාවලින් පැහැදිලිය.

එක්සත් ජාතික පක්ෂය ද දූෂණ වංචා විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ තම නොසතුට ඉකුත් දිනක ප්‍රකාශ කළේය. එකී විමර්ශනවල ප්‍රගතිය ගැන සෙවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කමිටුවක් ද පත් කළේය. සැබවින්ම මෙම විමර්ශනවල ප්‍රගතියක් නැත්තේ කවර හේතු නිසාද? ආණ්ඩුව නියෝජනය කරන කවර පාර්ශ්වය ද විමර්ශන සඳහා බාදා කරන්නේ? අපට පෙනෙන පරිදි පාර්ශ්ව දෙකම අඩුවැඩි වශයෙන් හොරුන්, වංචනිකයින්, දේශපාලන අපරාධකාරයන් ආරක්ෂා කිරීමට කටයුතු කරයි. දැන් මේ දෙගොල්ලෝ  එකිනෙකාට චෝදනා කරගනිති. අයවැයෙන් ජනතාවට විශාල බදු බරක් පැටවෙද්දී දුමින් දිසානායක වැනි ඇමැතිවරුන්  හිස් ගොඩනැගිලිවලට මාසික කුලිය වශයෙන් ලක්ෂ 247ක් තරම් මුදලක් ගෙවීම ඉකුත් දිනවල ද කතාබහට ලක්විය. එම ගොඩනැගිල්‍ලේ තෙමසක විදුලි බිල පමණක් ලක්ෂ 45කි. ඇමැතිවරයා එකී ගොඩනැගිල්ල සඳහා මුදල් ගෙවන්නේ පෞද්ගලික සබඳතා මුල්කරගෙන බව දැන් රටට රහසක් නොවේ. අපට පෙනෙන පරිදි ජනාධිපතිවරයා   මේ මහා ජාතික අපරාධයට එරෙහිව පියවර නොගැනීම ගැටලුවකි.  අනෙක දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍ලේකම්වරයාය. ඔහු ජනාධිපතිවරයාගේ කිට්ටුවන්තයෙකි. එහෙයින් දුමින්දට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කෙරෙහි ද ඇඟිල්ල දිගුවීම නොවැළැක්විය හැකි කරුණකි. යහපාලන අපේක්ෂා ඉටුකිරීමට කැපවී සිටින ජනාධිපතිවරයා මෙවැනි අහක යන කුණු ඇඟේ දමාගැනීම නොකළ යුත්තකි.

මෙවැනි දේශපාලන කැලඹිලි අස්සේ ඡන්දය පැවැත්වීමේ සමස්ත වුවමනාවක් ආණ්ඩුවට තිබෙන බවක් නොපෙනේ. එක්සත් ජාතික පක්ෂය ඡන්දය පැවැත්විය යුතුබව අවධාරණය කළ ද ශ්‍රීලනිපය ඊට අදිමදි කරයි. ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ඉකුත් සතියේ පළාත් පාලන ආයතන හයක ඡන්ද දායකයන් පිරිසක් පළාත් පාලන ආයතනවල සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතදී නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමය. මේ පෙත්සම්කරුවන් ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් බවට චෝදනාවක්  එල්ලවුවද පාර්ලිමේන්තුවේ වාදවිවාදවලින් තහවුරු වූයේ ඔවුන් ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කරන්නන් බවය. අප දකින ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී සහ මහින්ද පාර්ශ්ව දෙක අතර සංහිඳියාවක් ඇතිවුවහොත් ඔවුනට මැතිවරණය දුෂ්කර සටනක් නොවනු ඇත.

වරුණ අබේසේකර