බුදුන් සරණ යන්නට ජාතිය, කුලය, ආගම, ධනය, බලය, වයස කිසිවක් බාධාවක් නොවේ. ලෝකයේ ඕනෑම අයකුට බුදු දහම වැලඳ ගන්නටත් බුදු සසුනට ඇතුළු වන්නටත් අවසරයක්, ඉඩක් ඇත. ඒ බැව් බුද්ධ දේශනාවේ ද සඳහන් වේ.
රාජගිරියේ මාදින්නාගොඩ මොහොමඩ් සමීර් සුහයිර් දරුවාට බුදු දහම වැලඳගෙන සසුන්ගත වන්නට ලැබුණේ ද ඒ නිසාය. දස හැවිරිදි මොහොමඩ් සමීර් සුහයිර් අරනායක මෝරාගම්මාන ශ්‍රී මයුරපාද රජමහා විහාරයේ දී රාජගිරියේ චන්දකිත්ති සාමණේරයන් වහන්සේ ලෙස පැවිද්ද ලැබුවේය.

ඉස්ලාම් ජාතිකයකු වන මොහොමඩ් සුහයිර් නිසාම් ඩීන් සහ සිංහල කාන්තාවක වූ චිත්‍රා ශ්‍රීමනී ඔලිවර් දස හැවිරිදි වියේ පසු වූ සමීර්ගේ මව්පියන්ය. 2007 අප්‍රේල් මස 12 වැනි දින ඉපදුණ සමීර්ට වූයේ එක් වැඩිමල් සහෝදරයකු පමණි. ඔහු ජීවත් වූයේ නැන්දාගේ නිවසේ වූ අතර පවු‍ලේ බාලයා වූ සමීර් විසුවේ මව්පියන් සමගය.

මව්පියන් සෙවණේ සිට  ව/ගිරි/නාල/වලාන කනිෂ්ඨ විද්‍යාලයෙන් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ඇරඹි සමීර්ට පාසල් යන්නට ලැබුණේ වසරක පමණ කාලයකි. 2014 වසරේ පෙබරවාරියේ මව්පියන් වෙනත් ප්‍රදේශයක පදිංචියට ගියෙන් සමීර්ගේ පාසල් ගමන නැවතුණේය. ඉන් පසු නැවත පාසල් නොගිය සමීර් මවත් සමග අධ්‍යාපනයක් නොලබමින් නිවසේ කාලය ගත කළේය.

සමීර් අධ්‍යාපනයක් නොලබා ගෙදර සිටීම ගැන අම්මාගේ හිතේ වූයේ කනස්සල්ලකි. ඒ නිසා තම පුතුගේ ඉගෙනීම් කටයුතු යළි අරඹන්නේ කෙසේ දැයි ඇය කල්පනා කළාය. ඇය නාවල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් හමු වී තම පුතුට ඉගැන්වීමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙස ඉල්ලා සිටියේ ඉන් පසුවය. විහාරස්ථානයේ වැඩසිටි ස්වාමීන් වහන්සේ සමීර්ගේ මවගේ කතාව අසා ඔහුට අධ්‍යාපනය ලබා දෙන්නට කැමැති වුණේය. ඒ අනුව සමීර් එම විහාරස්ථානයේ නවතා අම්මා ගෙදර ආවා. පුතු පන්සලෙන් හොඳින් ඉගෙන ගනු ඇතැයි සැනසුම් සිතෙන් පසු වූ සමීර්ගේ මවගේ සිත කඩා වැටුණේ සමීර් සතියකට පසු එම පස්ස‍ලේ සිටින්නට බැරි බව කියා යළි නිවසට ආ නිසාය.

කුඩා සමීර්ට කෙසේ හෝ උගන්වන්නට සිතමින් සිටි ශ්‍රීමනීට කොළඹ විහාරස්ථානයක දී ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් හමුවන්නේ වාසනාවකටය. ඒ හමුවීමේ දී එකත්පස්ව හිඳිමින් ශ්‍රීමනී සමීර පුතු ගැන සියලු තොරතුරු චන්ද්‍රරතන හිමියන් සමග කීවාය. ඇගේ කතාව අසා සිටි චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ ශ්‍රීමනීට සිතා බලන්නට හිතට අදහස් දුන්නේය. ඒ පන්සල ඇසුරෙන් අධ්‍යාපනය ලබා පුතු උගතකු කරන්නට සමීර සසුන්ගත කිරීම ගැන හිතා බලන ලෙසටයි. දරුවාගේ පියා හා දරුවා සමග ඒ ගැන කතා කොට ඔවුන්ගේ තීරණය දැනුම් දෙන ලෙස චන්ද්‍රරතන හිමියෝ කියා සිටියහ.

කවුරුත් ඒ අදහසට කැමැති වූ නිසා ශ්‍රීමනී හා මොහොමඩ් දස හැවිරිදි සමීර්ව චන්ද්‍රරතන හිමියන්ට භාර දුන්හ. ඒ අනුව චන්ද්‍රරතන හිමියෝ කුඩා සමීර්ව කැඳවා ගියේ අරණායක මෝරාගම්මාන ශ්‍රී මයුරපාද රජමහා විහාරයේ වැඩ වසන ගුරු හිමියන් වූ පුවක්මොටේ ධම්මරතන හිමියන් ළඟටය.

කුඩා සමීර් පිළිබඳව සියලු තොරතුරු ගුරු හිමියන් වෙත පැවසූ චන්ද්‍රරතන හිමියෝ සමීර්ව ගුරු හිමියන්ට භාර දී නැවතත් කොළඹ වැඩියහ.
අරණායක සාමසර කන්ද පාමුල කුඩා ඔය අසබඩ පිහිටි මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරය පූජාවලිය ලියූ බුද්ධපුත්‍ර නාහිමියන් වැඩ විසූ ඓතිහාසික විහාරස්ථානයකි. ටැම් මත ඉදි කළ සංඝාවාසයක් හා බුදු කුටියක් ඇති මෙම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කරන්නේ කෑගල්ල සියඹලාපිටිය අශෝකාරාමාධිපති පූජ්‍ය ශාස්ත්‍රවේදී පුවක්මොටේ ධම්මාරාම ස්වාමීන් වහන්සේය. ඒ හිමියන්ගේ ශිෂ්‍යයකු වන පූජ්‍ය පුවක්මොටේ ධම්මරතන හිමියෝ මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී ලෙස කටයුතු කරති. ඉස්ලාම් ජාතික දරුවකු තමා ළඟට සසුන්ගත වීමට කැමැත්තෙන් පැමිණීම නිසා ධම්මරතන හිමියෝ තම ගුරු හිමියන් වන පුවක්මොටේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ වෙත මේ පිළිබඳ දන්වා ඒ අවවාද අනුශාසනා මත සමීර් සසුන්ගත කිරීමට කටයුතු සූදානම් කළහ.

ඉකුත් ඉල් ‍පෝය දිනට දින කිහිපයකට පෙර සමීර් ඇතුළු තවත් කුල දරුවන් තිදෙනකු පැවිදි කිරීමේ පින්කම උත්සවශ්‍රීයෙන් සිදු කෙරුණේය. ඒ අනුව කුඩා සමීර පුවක්මොටේ ධම්මරතන හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස රාජගිරියේ චන්දකිත්ති නමින් පැවිද්ද ලැබුවේය. මේ කුඩා සාමණේරයන් දැනට මෝරාගම්මන විහාරස්ථානයේ වැඩ වසමින් ‍පොල්අඹේගොඩ ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙන් ආයතනයේ අධ්‍යාපනය හදාරන්නේ මවගේ බලා‍පොරොත්තු ද ඉටු කරමිනි.
“අපිට ජීවත් වෙන්න කියලා ස්ථිර රැකියාවක් නැහැ. අපිටම කියලා ගෙයක් දොරක්වත් නැහැ. තැනින් තැන කුලියට තමයි ජීවත් වෙන්නේ. අපි ටික කාලයක් මීගමුවේ මාකඳුරේ වත්තක හිටියා. ලොකු පුතා නම් මහත්තයාගේ අක්කා ළඟ ඉන්නේ. ‍පොඩි පුතා අපි එක්ක හිටියේ. එයා පාසලකට දාගන්න බැරිව අපි ගොඩක් දුක් වින්දා. ඔහොම ඉන්නකොට තමා චන්ද්‍රරතන හාමුදුරුවෝ හමු වුණේ. ඒ හාමුදුරුවෝ හින්දා අපේ පුතා අද භික්ෂූන් වහන්සේ නමක් විදියට හිඳිමින් ඉගෙන ගන්නවා දැක්කාම අපට ගොඩක් සතුටුයි. පුතා කවදා හරි හොඳ උගත් භික්ෂූන් වහන්සේ නමක් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.”

සිය පුතු සසුනට පූජා කළ සතුට සමීර්ගේ මව්පියන් වචන කළේ එසේය.
“ශාසනය වෙනුවෙන් කැප වෙලා ඉන්න අපිට ජාති ආගම් භේදයක් නැහැ. කුමන ජාතියකට අයත් දරුවෙක් වුණත් බුදු දහම වැලඳ ගන්නවා නම් ඒ දරුවාට ධර්මය අවබෝධ කර දීම තමයි අපේ යුතුකම. සිංහල, මුස්ලිම් ජනතාවක් ජීවත් වන මේ ගමේ ඉස්ලාම් ජාතික දරුවකු මහණ කරා කියලා ලොකු වෙනසක් නෑ. එදා ඉඳන්ම මේ ගමේ හැම දෙනාම ජීවත් වුණේ පන්සලත් එක්ක. මම මේ ඉස්ලාම් දරුවත් එක්ක තවත් කුල දරුවන් තුන් දෙනෙක් මහණ කළා. චන්දානන්ද, චන්දවිමල, ධම්මදස්සි හා චන්දකිත්ති යන මේ සාමණේරවරු සිව් දෙනාට හොඳින් අධ්‍යාපනය ලබා දෙන්න ඕනෑ. ඒ සඳහා මේ විහාරස්ථානය දියුණු කර ගන්න ඕන. දායක පින්වතුන් මේ විහාරස්ථානය දියුණු කර ගන්න උදව් කරනවා නම් ලොකු පිනක්.” මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී පුවක්මොටේ ධම්මරතන හිමියන් පවසන පරිද්දෙන් ඒ සඳහා උදව් උපකාර කරන්නට කැමැති අයට 077 5068606 අංකයට ඇමතීමෙන් හෝ විහාරාධිකාරී ශ්‍රී මයුරපාද රජමහා විහාරය, මෝරාගම්මන යන ලිපිනයෙන් විමසා ඒ සඳහා දායක විය හැක.

සටහන සහ ඡායාරූප- රහල තිලකරත්න – අරණායක

Untitled-3 Untitled-2