සිරිපා කඳු මුදුන ආශ්‍රිත ප්‍රදේශය අවට ගම්වැසියන් හඳුන්වන්නේ සීත හිමය ලෙසිනි. සීත හිමේ වසරේ වැඩි දවසක් තිබෙන්නේ ඝන මීදුම් සළුවක් ඔතාගෙනය. මේ ඝන මීදුම් සළුවෙන් වැසී තිබෙන තෙත් සදාහරිත වනපෙත තුළට පිටතින් යම් දෙයක් ඇතුළු වේ නම් ඒ ඉතාම කලාතුරකිනි. වනපෙත ඇතුළත දහවලටද අන්ධකාරයක් ගැබ්ව පවතී. එහි ඇතුළත ඇත්තේද අමුතුම සීතලකි. වසරේ මාස කීපයක් මේ වනපෙත ආසන්නයෙන් බැතිමත්හු සිරිපා කරුණා කරති. ඔවුන් ගමන් කරන පළලින් අඩු වන මාවත් හැරුණු විට මේ සීත ඉම ම අමුත්තන්ට වැසී ගොස් තිබෙන නොඉඳුල් බිංකඩකි.

මීට වසර හත අටකට උඩදී මේ නොඉඳුල් සීතඉම අතික්‍රමණය කරමින් තරුණ ගවේෂණ කණ්ඩායමක් සංචාරය කළහ. එම කණ්ඩායමේ මූලිකයා වූයේ එල්.ජේ. මෙන්ඩිස් වික්‍රමසිංහය. ඔහු ලංකාවේ සිටින ප්‍රවීණ උරග හා උභයජීවී විද්‍යාඥයෙකි.  දුලාන් රංග විදානපතිරණ, දුෂ්‍යන්ත කණ්ඩම්බි, ඇලෙක්සැන්ඩර් පයිරන් හා නෙතූ වික්‍රමසිංහ එම කණ්ඩායමේ සෙස්සෝ වූහ. ඔවුහු මේ නොඉඳුල් වනපෙතේ සුවිසල් දුෂ්කර ක්‍රියාවක නිරත වූහ.

මෙවැනි තෙත් සදාහරිත වනපෙත්වල වසර මිලියන ගණනක් තිස්සේ සැඟව තිබෙන අබිරහස් සිය දහස් ගණනක් තිබෙන බව දන්නේ අතළොස්සකි. මෙන්ඩිස් ප්‍රමුඛ කණ්ඩායම සොයා ගියේද එවැනි වසර මිලියන ගණක් තිස්සේ අනාවරණය නොවූ අබිරහසක් පිටුපසය. එම අබිරහස පිළිබඳ පළමු හෝඩුවාව ඔවුන්ගේ නෙත ගැටුණේ 2010 වර්ෂයේ පෙබරවාරි 05 වැනිදාය. ඒ සිරිපා කරුණා කිරීමට භාවිත වන රත්නපුර හා කුරුවිට යන මාවත් දෙක එකිනෙකට මුණගැසෙන ඉසව්ව කිට්ටුවදීය. එදින ඔවුන්ට සර්පයකු හමුවිය. බැලූ බැල්මට ඒ මැඩිල්ලෙකි. එහෙත් අනෙක් මැඩිල්ලන්ට වඩා එම සතාගේ වෙනස්කම් රැසකි. මේ හඳුනා නොගත් සර්පයා ඔවුන්ට හමුවන විට එම කණ්ඩායමේ මෙන්ඩිස් වික්‍රමසිංහ, දුලාන් රංග, අමිල චානක, වෛද්‍ය ගිහාන් රජීව්, දුෂ්‍යන්ත කණ්ඩම්බි හා ආරියරත්න යන අය වූහ.

මෙම මැඩිල්ලාගේ වෙනස දුටු කණ්ඩායම වසර හතකට ආසන්න කාලයක් එකී මැඩිල්ලාත්, එම මැඩිල්ලාගේ පවු‍ලේ සිටින සෙසු සාමාජිකයන් පිළිබඳවත් කරුණු සොයා බැලූහ. මැඩිල්ලා යනු අර්ධ ලෙස ‍පොළොව යට වාසය කරන සර්ප විශේෂයකි. ලංකාවෙන් මෙවැනි මැඩිල්ලන් විශේෂ 07 වාර්තා වේ. එම හැම විශේෂයක්ම ලංකාවට ආවේණිකය. සරල ආකාරයට කියතොත් මේ මැඩිල්ලන්ගේ පවු‍ලේ සිටින සාමාජිකයන් සියලු දෙනා වාර්තා වන්නේ ලංකාවේ පමණි. යම් හෙයකින් එම එක විශේෂයක් ලංකාවෙන් වඳ වුවහොත් ඒක විශේෂය මුළු ලෝකයෙන්ම වඳවීමට භාජනය වේ.

Aspidura (ඇස්පිඩියුරා* ගනය ශ‍්‍රී ලංකාවට පමණක් ආවේණික සර්පයින් කොටසක් අයත්වන ගනයක් වේ. ඉංග‍්‍රීසි බසින් Rough-side snakes ලෙසින් මොවුන් හඳුන්වනු ලබන්නේ මෙම සර්පයින්ගේ ජම්බාලිය ආසන්නයේ ශරීරයේ දෙපස කොරල වල ප‍්‍රමුඛ කීලක හෝ නෞතල දක්නට ලැබෙන බැවිණි. පොදුවේ ගත් කල මැඩිල්ලන් යනු විෂ රහිත, මි.මී. 170 සිට මි.මී. 736 තෙක් දිගින් වැඩෙන අර්ධ කවාකාර හෝ උල් හැඩති හොම්බක් සහ හොඳින් වෙන්වී නොපෙනෙන ගෙලක් සහිත, සිලින්ඩරාකාර සිහින් දේහයක් සහ කෙටි වල්ග ඇති අර්ධ පාංශු සර්පය විශේෂයකි. මොවුන්ගේ ලෝරියල් කොරල නොපිහිටීම, අන්තර් නාස් කොරල එකක් පිහිටීම, ගුද කොරලය සහ පෞචඡු උදරීය කොරල නොබෙදී පිහිටීමද පොදු ලක්ෂණයන් වේ. හොඳින් සෙවණ සහිත හියුමස් බහුල බුරුල් පස තුළ, ගල් යට, පොළව මතුපිට සිට මීටර් 1.5 ක් පමණ ගැඹුරට යන තෙක් පස මොවුන් වඩාත් කැමති වාසස්ථාන ආකාර බව මේ පර්යේෂකයෝ පවසති.

මේ නව මැඩිල්ලා පිළිබඳ මේ තරුණ ගවේෂකයෝ වැඩි අවධානයක් යොමු කළහ. ප්‍රථමයෙන්ම ඔවුන් සොයා බැලුවේ මෙම සර්පයාගේ පිටතින් දක්නට තිබෙන වෙනස්කම් පිළිබඳවය. සර්පයාගේ දක්නට තිබෙන සුවිශේෂී වර්ණ රටාව, කොරල වින්‍යාසය අනුව මෙම සර්පයා එම පවු‍ලේ සෙසු සර්පයන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි බවට ඔවුහු පළමුව තීරණය කළහ. හමු වූ සර්පයා පිළිබඳව දීර්ඝ පර්යේෂණ ආරම්භ වන්නේ එම සොයා ගැනීමෙන් අනතුරුවය. ඉන්පසුව ඔවුහු අදාළ සර්පයාගේ ඩී.එන්.ඒ. සාම්පල පරීක්ෂා කළහ. එම අණුක වංශ ප්‍රවේණිකතාව මගින් ස්ථිර වශයෙන්ම මෙම සතා එම පවු‍ලේ සෙසු සර්පයන්ගෙන් වෙනස් බව ඔවුහු පැහැදිලිව නිරීක්ෂණය කළහ. මෙම සර්පයාගේ පූර්ව ජනිතයින් මිලියන 18ක් පමණ පැරණි ලයෝසීන යුගය දක්වා විහිදෙන බව මෙම විද්‍යා කණ්ඩායම සොයාගත්හ. මෙකී නව සර්ප විශේෂය මීට වසර මිලියන හයකට පමණ පෙර ඒ පූර්ව ජනිතයන්ගෙන් වෙන්වූ බවද එම ප්‍රවේණික දත්ත අනුව ඔවුහු සනාථ කළහ. එම නව සොයාගැනීම පිළිබඳව ඒ ක්ෂේත්‍රයේ සිටින විදේශ ප්‍රවීණයන් දැනුවත් කිරීම ඉන්පසුව සිදුවිය. මේ සියලු කටයුතු සඳහා ඔවුන්ට වසර අටකටත් වැඩි කාලයක් ගතවී තිබිණි.

මෙම නව සොයාගැනීමත් සමග ලංකාවේ සේම ලෝකයේ සර්ප නාමාවලියට නව මැඩිල්ලෙක් එකතු විය. මෙම නව මැඩිල්ලා අපගේ අතීත පුරාවෘත්තයක් සිහි කරමින් රාවණා යන නමින් නම් කිරීමට මෙම කණ්ඩායම තීරණය කළහ. ඒ අනුව මෙම නව සර්ප විශේෂය ‘ඇස්පිඩියුරා රාවණායි’ (Aspidura ravanai) යන නමින් නම් කෙරිණ. මීට අදාළ විද්‍යාත්මක පත්‍රිකාව පසුගිය 13 වැනිදා  ‘‘Zootaxa’’ යන ජාත්‍යන්තර විද්‍යා සඟරාවේ පළවිය.

මෙම නව විද්‍යාත්මක සොයාගැනීමෙන් පසු මුළු ලොවින්ම ශ‍්‍රී ලංකාවට පමණක් ආවේණික වූ Aspidura ගණයේ සර්ප සාමාජිකයන් ගණන 8ක් දක්වා ඉහළ ගිය අතර ශ‍්‍රී ලංකාවට පමණක් ආවේණික මුළු සර්ප විශේෂ ගණන 51 දක්වාද, ශ‍්‍රී ලංකාවෙන් දැනට වාර්තා කර ඇති සමස්ත සර්ප විශේෂ ගණන 104ක් ලෙසද ඉහළ ගියේය.

මේ වනවිට නව සර්ප විශේෂය ලංකාවට ආවේණික සර්පයකු ලෙස ලෝක සර්ප නාමාවලියට එක්වී හමාරය.
ලෝකයේ බොහෝ සත්ත්ව හා ශාක විශේෂ පිළිබඳව බටහිර විද්‍යාත්මක පර්යේෂණයන් සිදුකරන ලද්දේ සුදු ජාතික විද්‍යාඥයන්ය. ඒ වසර සිය ගණනකට පෙරය. ඔවුහු බොහෝ දේ විදු ලොවට අනාවරණය කළහ. ලංකාව වැනි රටවල පවා ඔවුහු පර්යේෂණ කළහ. එම පර්යේෂණවලට හසු නොවූ දෑ ඉතිරිව ඇත්තේ මෙවැනි අඳුරු වනපෙත් තුළය.
මෙම මැඩිල්ලන් පිළිබඳවද පළමු පර්යේෂණ ආරම්භ කර ඇත්තේද විදේශිකයන් කණ්ඩායමකි. ඒ 1800 ගණන්වලදීය.

බොයි නම් එම විදේශිකයා 1827දී ^Boie” 1827 මෙරටින් පළමු මැඩිල්ලන් විශේෂය පිළිබඳ විස්තර පළ කර ඇත. Seytale brachiorrus ලෙස එවකට මෙම සාමාජිකයා විද්‍යාත්මකව හඳුන්වන ලදී. වර්තමානයේ Aspidura brachiorrus යන සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් සහ ”ලේ මැඩිල්ලා” යන සිංහල නාමයෙන් මෙම Aspidura ගණයේ සාමාජිකයන් වනු ලැබීය.

1864 වර්ෂයේදී ගුන්තර් විසින් (Gunther, 1864) Aspidura copei යන මැඩිල්ලන් විශේෂය මෙරටින් සොයා ගැනිණ. කළු මැඩිල්ලා යන සිංහල නමින් හඳුන්වන මෙම විශේෂය පිළිබඳව දැනට දතු දන්නේ කෞතුකාගාර නිදර්ශක 7කින් පමණක් වන අතර පූර්ණදර්ශයේ ^holotype& හමුවූ ස්ථානය පිළිබඳ විස්තරයද දක්නට නැති බව මේ පර්යේෂකයෝ පවසති.

සිරිලකින් Aspidura guentheri යන මැඩිල්ලන් විශේෂය 1876 දී ෆ(Ferguson, 1876& විසින් විස්තර කරන ලදී. ”කුඩා මැඩිල්ලා” යන සිංහල නමින් හඳුන්වන මෙම සර්ප විශේෂය ශ‍්‍රී ලංකාවේ හමුවන කුඩාතම Aspidura ගණයේ සාමාජිකයා වේ. කුඩා මැඩිල්ලන් පහතරට තෙත් කලාපයේ වඩාත් සුලබව හමුවේ.

කොපෙ විසින් 1860 දී (Cope, 1860) Aspidura trachyprocta යන මැඩිල්ලන් විශේෂය විස්තර කරන ලද අතර මෙම විශේෂය ”දළව මැඩිල්ලා” යන සිංහල නමින් හඳුන්වයි. මු.ම.උ.මී. 1500 ට වැඩි උන්නතාංශවලින් පමණක් හමුවන මෙම විශේෂය ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප‍්‍රදේශවලින් පමණක් ඉතා සුලභව වාර්තා වේ.

1904 වසරේදී බොවුලන්ජර් ^Boulenger, 1904) úiska Aspidura drummondhayi යන මැඩිල්ලන් විශේෂයක් පිළිබඳව විස්තර කරන ලදී. බළන්ගොඩ හොප්වෙල් වතුයායෙන් සොයාගන්නා ලද මෙම විශේෂය ආසන්න වශයෙන් මුහුදු මට්ටමේ සිට මීටර් 1066ත් 1280ත් අතර ප‍්‍රදේශයේ හමුවන බව ඔහු වාර්තා කර ඇත. මෙම සර්ප විශේෂය කෙටිවල් මැඩිල්ලා යන සිංහල නමින් හඳුන්වයි.

Aspidura daraniyagalae යන විශේෂය ගෑන්ස් සහ ෆෙට්කෝ විසින් 1982 ^Gans & Fetcho, 1982 දී විදු ලොවට හඳුන්වා දෙන ලදී. එමෙන්ම එය th Aspidura ගණයේ සර්ප සාමාජිකයෙකු පිළිබඳව සිදුකරන ලද අවසාන වර්ගීකරණ විද්‍යාත්මක විස්තර කිරීමද වේ.

Aspidura ගණයේ හත්වැනි සාමාජිකයා වන්නේ ගුන්තර් විසින් 1858 දී ^Günther” 1858 වාර්තා කරන ලද Haplocercus ceylonensis යන විශේෂයි. පෙරදී මෙම විශේෂය Haplocercus යන ඒකදර්ශී ගණයෙහිලා සැලකුවද 2013 වසරේ දී පයිරන් ඇතුළු පිරිස ^Pyron et al, 2013 විසින් සිරිලක සර්පයින්ගේ අනුක වංශ ප‍්‍රවේණිකතාව පිළිබඳ සිදුකළ පර්යේෂණයේ අවසන් ප‍්‍රතිඵල අනුව මෙම විශේෂයද Aspidura ගණයටම අයත් වන බව සනාථ කරන ලදී. එබැවින් වර්තමානයේ මෙම විශේෂය Aspidura ceylonensis යන නව විද්‍යාත්මක නමින් සහ පෙරදීද භාවිත කළ කුරුන් කරවලා/ රත් කරවලා යන සිංහල නම් වලින්ද හඳුන්වයි.

ශ‍්‍රී ලංකාවේ අන්තරායට ලක්වූ තක්සෝන පිළිබඳව සිදු කරන ලද නවතම ලයිස්තුගත කිරීම් වලට අනුව මැඩිල්ලන් විශේෂ 5ක් වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත.A. deraniyagalae දැඩි අන්තරායට ලක්වූ ^CR-Critically Endangered& ජීවී විශේෂයක් ලෙසද,A. ceylonensis, A. drummondhay සහA. trachyprocta අන්තරායට ලක්වූ ^EN-Endangered ජීවී විශේෂ ලෙසද,A. brachyorrhos අවදානමට ලක් වූ ^VU-Vulnerable ජීවී විශේෂයක් ලෙසද, A. guentheri තර්ජනයට ලක්වීමට ආසන්න ^NT-Near Threatened ජීවී විශේෂයක් ලෙසද එහි ලැයිස්තුගත කර ඇත.A. copei දතු හීන DD-Data Deficient ජීවී විශේෂයක් ලෙස එහි වැඩිදුරටත් දක්වා ඇති බව මෙම කණ්ඩායම පෙන්වා දෙති.

රාවණා මැඩිල්ලාගේ කොරල වින්‍යාසයේද වෙනස්කම් පවතී.
ජීවී සතුන් පෘෂ්ඨීයව තද කළු පැහැති වේ. හතරවන උඩුතොල කොරලයේ සිට ගෙල පෙදෙස දක්වා උදරීය-පාර්ශ්විකව දීප්තිමත් කහ පැහැති තීරයකි. එය ගෙල පෙදෙසේ සිට වලිග කෙලවර තෙක්ම උදරීය-පාර්ශ්විකව දිවයයි. එය ශරීර මධ්‍යයේදී ඇතැම් විට ඛණ්ඩනය වී තිබිය හැක. උදරීයව කළු පැහැති වන අතර කහ පැහැති පැල්ලම් විසිරී තිබෙනු දක්නට ලැබේ. උගුර ප‍්‍රදේශයද ප‍්‍රමුඛව දීප්තිමත් කහ පැහැතිය.

රාවණා මැඩිල්ලා හමුවන්නේ මු.ම.උ.මී. 1650 ත් 2000ත් අතර උන්නතාංශයක පිහිටන කඳුකර වළාකුල් වනාන්තරවලිනි. මොවුන් වැඩි වශයෙන් හොඳින් සෙවණ ලැබෙන ප‍්‍රදේශ වල ඝන දිරායන කොළ රොඩු ස්ථරයකින් වැසුණු බුරුල් පස තුළ හෝ කොටන් යට හමුවන අතර බිම් මට්ටමේ සිට සෙ.මී. 30ක් පමණ ගැඹුරින්ද හමුවන බව පර්යේෂකයෝ කියති. එහෙත් දැනට හමු වී ඇත්තේ මේ ලක්ෂණ තිබෙන එක් ප‍්‍රදේශයකින් පමණි.

එවැනි වනාන්තර පාරිසරික හා දේශගුණික වෙනස්කම් මෙවැනි සතුන්ගේ හෙට දවස අඳුරු කරන ප‍්‍රමුඛ සාධක ලෙස පෙන්වා දිය හැකිය.

(මෙම ලිපියේ ඇතැම් විද්‍යාත්මක කරුණු සපයා ගන්නා ලද්දේ එච්.කේ. දුෂාන්ත කණ්ඩම්බි මහතාගේ ලිඛිත පැහැදිලි කිරීමකිනි.*

තරංග රණවක

Untitled-6 Untitled-5