ප්‍ර – මන්ත්‍රීතුමා.. ඇමැතිකම් දරපු අතාවුදට මොකද වුණේ?
පි – මම මුලින්ම තරග කළේ ගම් සභාවට. ඒ 1957දී. ඊට පස්සේ මම ඩඩ්ලි මහත්තයා එක්ක දැදිගම ආසනයට තරග කළා 1960 මාර්තු මැතිවරණයට. ඊට පස්සේ මම 1965දී තරග කළා රුවන්වැල්ල ආසනයට. ඊට පසුව 1970 තරග කළා.  මේ දිගටම තරග කරද්දි දිනපු වාර තිබුණා, පැරදුණ වාර තිබුණා. ඉතින් මේ පාරත් ඒ වගේ පැරදුණ වාරයක්.

ප්‍ර – මුලින්ම ඔබලා ගමන් කළේ සමාජවාදය පැත්තට?
පි – ඔව්, මම මුලින්ම ගමන් කළේ සමාජවාදය පැත්තට. මම දහම් පාසල් තුනක උගන්වනවා. මගේ පාසල තුළත් මම බෞද්ධ ශිෂ්‍ය සමිතියක් පටන්ගත්තා. මම ඒ දේවල් තුළින් කළේ සමාජ සේවය. ඒ සමාජ සේවය එක්ක තමයි මම සමාජවාදය පැත්තට ගියේ. ජීවත්වීමේ පරමාර්ථය පරාර්ථ සේවය සඳහා කියලයි මම කටයුතු කළේ. ඉතින් සමාජවාදය ඇති කිරීම තුළින් සමාජ සමානාත්මතාවය ඇති කිරීමට ඒ වෙලාවේ තිබුණ බලවේගය වුණු සමසමාජ පක්ෂය එක්ක එකතු වුණා.

ප්‍ර – වමේ දේශපාලනය තුළ මොනවද මතක තියෙන සිදුවීම්?
පි -1976දී පිදෙල් කැස්තේ‍රා් නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරද්දි මමයි, ස්ටැන්ලි තිලකරත්නයි, ටී.බි. සුබසිංහයි ගියා ඒ උත්සවේට. මූද අයිනේ තියෙනවා ළමා උද්‍යානයක්. අපි ඒක බලන්න ගියා. එතැන ච්ෙ ගුවේරා නැවතිලා හිටපු ගේ තිබුණා. අපි යද්දි ළමයි ටිකක් අපි පිළිගත්තා. ච්ෙ ගුවේරා ඒ කා‍ලේ ඇඳපු ඇඳුම්, එයා භාවිත කරපු හැමදේම ඒ ගෙදර තිබුණා. අන්තිමට ඒකේ ලියවිල්ලක් එල්ලලා තිබුණා. ඒක තමයි පිදෙල් කැස්තේ‍රා්ට ච්ෙ ගුවේරා බොලීවියාවේ ඉඳලා එවලා තිබුණු ලිපිය. ඒකේ තිබුණේ මගේ සහෝදරයා පිදෙල්, මගේ බිරිඳත් දරුවනුත් ඔබේ රටේ ඉන්නවා, ඒ අය හොඳට බලාගන්න කියලා. ඉන්පසු අපිව අඳුන්වලා දුන්නා දරුවෙක්. මේ තමයි ච්ෙගේ පස්වැනි දරුවා කියලා. ඉතින් මට ඇඬුණා. තමන්ගේ දරුවෝ පසෙක දාලා බොලීවියාවේ වනාන්තර මැද්දේ ඒකාධිපති පාලනයට විරුද්ධව සටන් කරනවා. අපි මොනවද කරලා තියෙන්නේ කියලා, අපිට ඒ ළමයි ගැන දුකක් ඇතිවුණා. ඒකෙන් අලුත් පන්නරයක් ලැබුණා ජනතාව වෙනුවෙන් තවත් කැපවිය යුතුයි කියලා.

ප්‍ර –  ඒ කා‍ලේ වමේ දේශපාලනය කරද්දි දකුණට කතා කළේ නැද්ද?
පි – ඇයි නැත්තේ? ඩඩ්ලි කියන්නේ මගේ මිත්‍රයෙක්. එයා මට පණිවිඩයක් එවලා තිබුණා එන්න ආසනයක් දෙන්නම් තරග කරන්න කියලා. ඒ 1965දී. මම අකමැති වුණා. ඊට පස්සේ හොඳ සංස්ථා සභාපතිකමක් දෙන්නම් කියලා එන්න කීවා. මම කීවා මට මොකෙන් හරි පාර්ලිමේන්තු යන්න නොවේ ඕන, මගේ සමසමාජ පක්ෂයෙන් යන්නයි ඕනෑ කියලා. මම ඩඩ්ලිට පණිවිඩය යැව්වා. ඒ වගේම තමයි 1976. මම පරණ පාර්ලිමේන්තුවේ පඩිපෙළ බැහැගෙන බැහැගෙන එද්දි ‘ආ අතා.. බොහොම හොඳයි හමුවුණ එක. මාත් එක්ක එකතු වෙන්න. ඔයාට මම හොඳ ඇමැතිකමක් දෙන්නම්. ඔය සමසමාජ පක්ෂය බලයට එන්නේ නෑ’ කියලා ජේ.ආර්. කිව්වා. මම කීවා ‘කොහොමද මම ඔබ එක්ක එකතු වෙන්නේ? අපි දෙන්නගේ දේශපාලනය අහසට ‍පොළොව වගේනෙ’ කියලා.

ප්‍ර –  ඔබ මුලින්ම පාර්ලිමේන්තු ආවේ කොයි අවුරුද්දේද?
පි – මම 1970දී තමයි මුලින්ම පාර්ලිමේන්තු ආවේ.

ප්‍ර – මුලින්ම ඇමැතිකමක් ලැබුණේ මොන අවුරුද්දේදිද?
පි – 1994දී මට නියෝජ්‍ය ඇමැතිකමක් දුන්නා චන්ද්‍රිකා මැතිනිය. අපි සභාග ආණ්ඩුවක්නේ පිහිටෙව්වේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති විදිහට. රත්නසිරි වික්‍රමනායක තමයි කටයුතු කෙරුවේ.

ප්‍ර – ඔබ ඉන්පසුව සබරගමුව පළාත් සභාවට ගියා?
පි – ඔව්, චන්ද්‍රිකා මැතිනිය මට කීවා. ඔබතුමා යන්න කියලා. ඉතින් මම ගිහින් මහ ඇමැති වුණා.

ප්‍ර – හරි, ඇයි ඔබ සමසමාජය අතෑරලා ශ්‍රී ලංකා එකට බැඳුණේ?
පි – මගේ සටනක් තිබුණා වමේ සියලු දෙනාම එකතු කරලා ප්‍රබල වමක් හදන්න. මම සමසමාජ පක්ෂයෙන් මේ යෝජනාව ඒකඡන්දයෙන් සම්මත කරගත්තා. සියලු පක්ෂ එක පක්ෂයක් කිරීමේ වැඩේ මම කරගෙන ගියා. මේකට බැටී වීරකෝන් හතුරුකම් කළා.

ප්‍ර – ඒ ඇයි?
පි – ඔහු දැඩි ටේ‍රාස්කිවාදියෙක්. ඔහු ඒ නිසා ඒකට විරෝධතා දැක්වූවා. මා එක්ක මතවාදී ගැටුමක් තිබුණ. එතුමා පක්ෂයේ ‍ලේකම් වුණා. ඊට පස්සේ මගේ සාමාජිකත්වය තහනම් කළා. එතකොට ඡන්දය ආවා 2001දී. එවිට මට තරග කරන්න පක්ෂයක් නෑ. ඉතින් මම චන්ද්‍රිකා මැතිනියට කීවා මටත් තරග කරන්න දෙනවද කියලා.

ප්‍ර – එතුමිය මොකද කීවේ?
පි – එතුමිය කීවා අයියෝ ඉතින් එන්නකෝ, අපිට කොච්චර හොඳ ද කියලා. ඉතින් මට ලියුමක් දුන්නා. එතැන දි.මු. හිටියා. ඒ අනුව තමයි මම ශ්‍රී ලංකා එකට එකතුවෙලා වැඩ කරගෙන ආවේ.

ප්‍ර – පක්ෂයෙන් ඉවත් කරපුවාම ඔබට හිතුණේ නැද්ද ජේ.ආර්. ඇමැතිකමකට කතා කරපුවාම ගියා නම් කියලා?
පි – අ‍පෝ මට එහෙම හිතුණේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී බවක් තියෙනවා. නමුත් යූඇන්පී එකේ ඒක නෑ.

ප්‍ර – සිරිමා මැතිනිය එක්කත් ඔබ ආණ්ඩුව තුළ හිටියා 70 ඉඳලා?
පි – ඔව්, ඇය ඉතා විශිෂ්ට චරිතයක්. එතුමියත් මට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන්න කියලා ඇරයුම් කළා. මම එදා ගියේ නෑ.

ප්‍ර – දේශපාලනය තුළ ඔබට හමුවුණු මිත්‍රශීලීම දේශපාලනඥයා කවුද?
පි – ඇන්.ඇම්. පෙරේරා. ඔහු එක්ක අපි දින දෙක තුන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ වාද විවාද කරගන්නවා. නමුත් කිසි දවසක තරහක් නෑ. එළියට ආවාම කාරෙකේ දාගෙන ගිහින් කෑම කාලා ගෙදරටත් ගෙනැත් දානවා. ඒ වගේ කෙනෙක්. එතුමාට විශාල දේ‍පොළක් තිබුණා. ඒ සියල්ල දේශපාලනයටම වැය කළා. මොකද දේ‍පොළ විකුණලා තමයි දේශපාලනය කළේ. එතුමා නැතිවෙද්දි ඉතිරිවෙලා තිබුණේ බොරැල්‍ලේ ගෙයයි, කාරෙකයි විතරයි.

ප්‍ර – ඔබේ විවාහය සිද්ධ වුණේ කොහොමද?
පි – මම මුලින්ම ගුරුවරයෙක් විදිහට වැඩ කළා. ඉතින් ඒ කා‍ලේ මා හිටපු ඉස්කෝලෙට ආපු ගුරුවරියක් සමග තමයි මම විවාහ වුණේ. ඒ 1961දී.

ප්‍ර – ප්‍රේම සබඳතාවකින්ද විවාහ වුණේ?
පි – ඔව්, ඉතින් පාස‍ලේ එකට වැඩ කරද්දි හිතවත්වෙලා අපි එකිනෙකා අදහස් හුවමාරු කරගත්තා. ඊට පස්සේ ඉතින් ඒක ප්‍රේමයකට පෙරළුණා. ඇය ‍පොඩිමැණිකේ.

ප්‍ර – බිරිඳ ඔබේ දේශපාලනයට උදව් කළාද?
පි – ඔව්, ඇය මගේ දේශපාලනයට සම්පූර්ණයෙන්ම සහාය දුන්නා. සමහර අවස්ථාවල ඒ ප්‍රදේශවලට ගිහින් මා වෙනුවට සංවිධාන කටයුතු කරලා වේදිකාවේ හොඳ කතාවකුත් කරලයි එන්නේ. ඇය ඒ තරම් මගේ දේශපාලනයට උදව් කළා.

ප්‍ර – ඇය හා ගෙවුණු ජීවිතය තුළ ඔබට හොඳටම මතක තියෙන තැනක් තියෙනවාද?
පි – මම පූර්ණකාලීනව දේශපාලනයේ නිරතවුණු කෙනෙක්. ඉතින් ගෙදරදොරේ වැඩ බොහෝමයක් මගහැරුණා. ඉතින් මම එක දවසක් ඇන්.ඇම්. පෙරේරා සහෝදරයා එක්ක බදුල්‍ලේ රැලියකට ගියා. සේනානායක පිට්ටනියේ ඉන්නකොට එක්කෙනෙක් ඇවිත් කීවා කෝල් එකක් ආවලු මගේ බිරිඳ පුතා ලැබෙන්න රෝහල්ගත කළා, මට ඉක්මනින් එන්න කියලා. මම කීවා මේ රැස්වීමේ කතා කරලා මේ වැඩ ටික ඉවර කරලා තමයි එන්නේ. මම මගේ කාර්යභාරය ඇයට ඉෂ්ට කරලා තියෙන්නේ. දැන් දොස්තර මහත්වරුන්ගේ කාර්යභාරය තමයි තියෙන්නේ කියලා. ඒ කාර්යය කරයි කියලා. ඉතින් ඒක ඇන්.ඇම්. සහෝදරයා නිතරම මතක් කළා. ඔහු ඒක මගේ බිරිඳටත් කීවා.

ප්‍ර –  දරුවෝ කීදෙනෙක් ඉන්නවාද?
පි – මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ආනන්ද විද්‍යාලයට ගියා, දෙන්නෙක් රාජකීය විද්‍යාලයට ගියා.

ප්‍ර – වමේ දේශපාලනඥයෝ මොන දේ කතා කළත් ළමයි දාගන්නේ රාජකීයට, ආනන්දයට නේද?
පි – මගේ බිරිඳ අවුරුදු ගණනක්ම වැඩ කළේ ආනන්දේ. මමත් ගුරුවරයෙක් වෙලා හිටියා. මම ඉන් ඉවත් වුණා. මට රැකියාව නැති වුණාම දේශප්‍රිය සේනානායක සතොස තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති වුණා. අන්න ඒකේ මට දුන්නා සහකාර කළමනාකාර තනතුර. මම ඒක භාර අරගෙන කොළඹට ආවා. ඉතින් මම මගේ බිරිඳත් මාරු කරගෙන කොළඹට ගෙනාවා. මුලින්ම කැලණිය ධර්මාලෝක විද්‍යාලයටත්, එතැනින් ආනන්ද විද්‍යාලයටත් මාරු කරගත්තා. ළමයින්ට හොඳට උගන්වන්න ඕනෑ නිසා හොඳ පාසලකට දාගත්තා. ඔය පුංචි බොරැල්‍ලේ අපේ සමසමාජයේ යාළුවෙක්ගේ ගෙයක් තිබුණා. ඒකේ තමයි මම නතර වුණේ. ඉතින් ළමයි පාසල් ගියේ ඒ ගෙදර ඉඳලා..

ප්‍ර – මේ ආපු ගමන්මග ගැන ආපසු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
පි – මම කරන්න හදපු දේවල් කිහිපයක් තිබුණා. මට ඒවා කරන්න බැරිවුණා.

ප්‍ර – මොනවද ඒ වැඩ?
පි – මේ ‍පොළොවේ තියෙන සම්පත් ගන්න මම උත්සාහ කළා. අපේ මුහුදේ ඛනිජ තෙල් තියෙනවා කීවා. ඒවා පරීක්ෂණ කරලා ගන්න අවශ්‍ය මූලික කටයුතු සිදුකළා. නමුත් ඒවා කරන්න බැරිවුණා. මම ඒ වාර්තාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සල්ලිත් හොයාගත්තා. මම 2007දී කොහොමහරි වැඩේ පටන්ගන්නයි සැලසුම් කළේ. ඒත් 2001දී ආණ්ඩුව පැරදුණා. සියල්ල කණපිට පෙරළුණා. ඒ හිටපු ඉංජිනේරුවෝ, විශේෂඥයෝ එහෙට මෙහෙට මාරු කළා. මම හැදුවේ කොහොම හරි 2010දී තෙල් ගන්නවා කියලා. මම ඒ ප්‍රකාශයත් එදා කළා. ඒක කළා නම් අද අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔය දේ කරන්න බැරිවුණු එක ගැන මට පසුතැවිල්ලක් තියෙන්නේ.

ප්‍ර – ඔබට වැඩිපුර වැඩ කරන්න ලැබුණේ චන්ද්‍රිකාගේ කාලෙද? මහින්දගේ කාලෙද?
පි – ඇත්තටම චන්ද්‍රිකා මැතිනියගේ කාලෙදි මම හුඟක් වැඩ කළා. ඒත් ඊට පස්සේ මට වුවමනා පරිදි වැඩ කරන්න පුළුවන් වුණේ නෑ.

ප්‍ර – 2014 නොවැම්බර් 21 ඔබලාගේ ‍පොදු අපේක්ෂකයා එක්ක යන්නලු හිටියේ. ඇයි නොගියේ?
පි – අපි එදා පක්ෂය විදිහටයි හිටියේ. අදත් මම ඉන්නේ පක්ෂයක් විදිහට. කවුරු ගියත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යන්නේ නෑ. මම ස්ථිර වශයෙන්ම මේ පක්ෂයේ ඉන්නවා. මම මැරෙන තෙක් මේ පක්ෂයේ සාමාජිකයෙක් විදිහට ඉන්නවා.

ප්‍ර –  වත්මන් ජනාධිපතිවරයා ඔබට වගකීම් පවරා තිබෙනවාද?
පි – නෑ, එහෙම විශේෂ වගකීමක් පවරලා නෑ. මම මගේ අදහස් ලබාදෙමින් පක්ෂය වෙනුවෙන් යම් යම් දේවල් සිදු කරමින් ඉන්නවා. මගෙන් වැඩ ගත්ත නම් හොඳයි. මට කරගෙන යන්න පුළුවන්.

ප්‍ර – ඇයි ඔබ පසුගිය මැතිවරණයේදී ඇත්තටම පැරදුණේ?
පි – අපි පක්ෂය එක්ක ඉඳලා මහින්ද මහත්තයා දිනවන්න දඟලලා දින සීයේ ආණ්ඩුවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උදව්වට ගියා. ඒක එතුමාගේ උදව්වට නොවේ. පක්ෂය ගත්ත තීන්දුවකට අනුව පක්ෂයක් විදිහටයි ගියේ. එදා තීන්දු කළා මෛත්‍රී ජනපතිතුමාට පක්ෂය දෙන්න. මධ්‍යම කාරක සභාව බෙදුණා. පක්ෂ ව්‍යවස්ථාව අනුව මෙතුමාට පක්ෂය දිය යුතුයි. ඉතින් මම එතුමා එක්ක හිටියා. එදා කථානායක චමල් රාජපක්ෂගේ නිවසේදී තමයි පක්ෂය මෙතුමාට භාරදුන්නේ.

ප්‍ර – සභාපතිකම තර්ජනය කරලා ගත්තා කියලා පස්සේ කීවා. ඇත්තද?
පි – ඒක බොරු. අවුරුදු දෙකකට පස්සෙනේ ඒක කියන්නේ. තර්ජනය කළා නම් එදාම කියන්න තිබුණානේ. අනික මොකක්ද කරපු තර්ජනය? කිසිම දෙයක් වුණේ නෑ. අයියාගේ ගෙදර ඉඳලා තමයි පක්ෂය බොහොම සුහද සිතින් භාරදුන්නේ. ඒකයි ඇත්ත කතාව.

ප්‍ර – ඔබේ දැන් තත්ත්වය කොහොමද?
පි – මට දැන් අඩුම වශයෙන් වාහනයක්වත් නෑ. මම මේ දවස්වල යන්නේ එන්නේ මගේ යාළුවෙක්ගේ වාහනයක. මම දැන් මට අයත් ඉඩම් කෑල්ලක් විකුණන්න දාලයි තියෙන්නේ. ඉතින් ඒක විකිණුවාම මම වාහනයක් දෙකක් ගන්නවා.

ප්‍ර – එතකොට අර මන්ත්‍රී, ඇමැති කා‍ලේ ලැබුණු වාහන කෝ?
පි – ඉතින් ඒවා විකුණලා තමයි මම ඡන්ද කළේ. මට ඡන්ද කරන්න සල්ලි තිබුණේ නෑ. මම ගමේ තියෙන ලොකු ඉඩම භාවනා මධ්‍යස්ථානයක් හදන්න පූජා කළා.

ප්‍ර – ඉතින් ඇයි ඉඩම් විකුණ විකුණා වාහන ගන්න හදන්නේ? දේශපාලනේ කරන්න නේද? දැන් විශ්‍රාම සුවයෙන් හිටියා නම් හරිනේ?
පි – මම මැරෙනතුරු දේශපාලනය කරනවා. මේ රටට මම මැරෙනතුරු මට කළ හැකි දේ කරනවා.

ප්‍ර – ඉතින් අද පැත්තකට දාලනේ ඉන්නේ?
පි – මම තනතුරු ගැන කල්පනා කරන්නේ නෑ. මට ඕනෑ මේ රට හදන්න. මිනිස්සු ඉදිරියේ මගේ අදහස් කියන්න. මම පැරදුණ හේතු කාරණා 70ක් ලියලා තියෙනවා. මම ඒක තාම එළියට දැම්මේ නෑ.

ප්‍ර – ඇයි ඒ?
පි – එතකොට ඒක එක පැත්තකට වදිනවා වැඩියි. ඉතින් ටිකක් බලන් ඉන්නවා.

ප්‍ර – ඉදිරියේදී එළියට දානවද?
පි – ඔව්, ‍පොතක් ලියන්න මම අදහස් කරගෙන යනවා.

ප්‍ර – ගෙවල් දොරවල් හොඳට හදාගෙන ඇති?
පි – නෑ, මම ගෙයක් දොරක් හදාගත්තේ නෑ. දැනුත් මම ඉන්නේ තලවතුගොඩ කුලී නිවසක.

ප්‍ර – කලකිරුණු අවස්ථා නැද්ද?
පි – මට කලකිරීමක් තියෙනවා. හැබැයි එහෙම කලකිරිලා අපි ඈත්වෙලා හිටියොත් මේ රට යන්නේ හොරුන්ට භූතයන්ටනේ. ඉතින් එහෙම යන්න දෙන්න බෑනේ. ඒක නිසා මම ඉන්න තාක්කල් මම මගේ මතවාදය ඉදිරියට ගෙනයමින් ජනතාව වෙනුවෙන් දේශපාලනය කරනවා.

ප්‍ර – මහින්ද මහත්තයා එක්ක තරහද?
පි – කිසිම තරහක් නෑ. එතුමා හමුවුණාම අපි හොඳට කතාබහ කරනවා. එතුමා යුද්ධය ඉවර කරපු එකට අපේ ලොකු ගෞරවයක් තියෙනවා.

ප්‍ර – මොනවද අවසන් අපේක්ෂා?
පි – මේ රට ලෝකේ හොඳ දියුණු රටක්වෙලා ගුණදම් ඇති දියුණු මිනිස්සු පිරිසක් රට තුළ ඇති වෙනවා දැකීමයි.

සාකච්ඡා කළේ-සුජිත් කෝනාර
sujithkona@gmail.com
ඡායාරූප – කණිෂ්ක බැද්දවලගේ