ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ප්‍රධාන පුහුණුකරු දුරය සඳහා චන්දික හතුරුසිංහ ගැනීමේ පුවත පසුගියදා නැවත මතුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අරමුණ වී ඇත්තේ ලබන ජනවාරි මුල සිට එනම් දැන් ඇරඹී ඇති ඉන්දීය සංචාරයෙන් පසුව නව ප්‍රධාන පුහුණුකරුගේ සේවය ලබාගැනීමටය.

පසුගිය ජුනි චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව හදිසියේම දකුණු අප්‍රිකානු පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ගිවිසුම් ගෙන සිට කාලයට පෙරම ඉවත්වීම නිසා ඇතිවූ පුරප්පාඩුවට තාවකාලික විසඳුමක් ලෙස නික් ‍පෝතස් ක්‍රියා කළද බලා‍පොරොත්තු ප්‍රතිඵල නොලැබිම නිසා වඩාත් දක්ෂ පුහුණුකරුවකුගේ අවශ්‍යතාව තදින්ම දැනී ඇත.

ඇත්තටම නික් ‍පෝතස් ශ්‍රී ලංකා පිලට මුලින්ම එක්වූයේ පන්දු රැකීමේ විශේෂඥ පුහුණුකරු ලෙසයි. කෙසේ වුවත් ඔහුට අන්තර් පුහුණුකරුවකු ලෙස ලැබූ භූමිකාව තුළ ශ්‍රී ලංකා පිලට සිම්බාබ්වේ තරගාවලිය, ඉන්දීය තරගාවලිය හා පාකිස්තානු තරගාවලියේ බලා‍පොරොත්තු මට්ටමේ දක්ෂතාවලට පැමිණීමට නොහැකි වීම තුළ දක්ෂ ප්‍රධාන පුහුණුකරුවකුගේ අවශ්‍යතාව තදින්ම දැනී ඇත.

මෑතකාලීනව ශ්‍රී ලංකා පි‍ලේ ප්‍රධාන පුහුණුකරු තනතුරට වැඩිපුර පත්වූයේ විදෙස් පුහුණුකරුවන්ය. ටොම් මූඩි, ටේ‍රවර් බේලිස්, ‍පෝල් ෆාබේ්‍රස්, ජෝන් ඩයිසන්, ජේෆ් මාෂ් ඔස්ට්‍රේලියානුවන්ය. ග්‍රැහැම් ෆෝඩ් දකුණු අප්‍රිකානුවෙකි. ‍පෝල් ෆාබේ්‍රස් එංගලන්ත ජාතිකයෙකි. මෙවරද නැවතත් විදෙස් පුහුණුකරුවන් ලෙස ඩීන් ජෝන්ස්, ජේසන් ගිලෙප්සි, ‍පෝල් ෆාබේ්‍රස්ගේ නම්ද සැලකිල්ලට ගෙන තිබුණද ඒ සියල්ලනට වඩා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චන්දික හතුරුසිංහ ගැන අවධානය යොමුවී ඇත.

කෙසේ වුවත් හතුරුසිංහ බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස වඩාත් සාර්ථකත්වයක් එරටේ ක්‍රිකට් පිලට ගෙනදුන් හෙයින් ඔහු නිදහස් කරගැනීමේ අපහසුතාවක් තිබුණද හතුරුසිංහ විසින්ම මේ වනවිටත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් අස්වීම සඳහා ලිපිය ඉදිරිපත් කොට ඇත. එහෙත් මේ වනතෙක් එම ලිපියට ප්‍රතිචාර බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ගෙන් ලැබි නැත. මේ අතර බංග්ලාදේශයේ සිට පෙරළා සිය පවු‍ලේ සාමාජිකයන් වෙසෙන සිඩ්නි නුවරට හතුරුසිංහ ගොස් සිටි අතර ඔහුගේ සේවය ශ්‍රී ලංකා පිලට ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මාන බලමින් සිටී.

හතුරුසිංහ ශ්‍රී ලංකා පිලට ආගන්තුකයකු නොවේ. ජාතික පිලට ටෙස්ට් තරග 26ක්ද, එක්දින තරග 35ක්ද  ක්‍රීඩා කර ඇති මොහු ආරම්භක පිතිකරුවකු ලෙසද, මඳ වේග පන්දු යවන්නකු ලෙසද දක්ෂතා අතර සිටි අතර තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස 1991-1999 දක්වා සේවය ලබාදීමට සමත් විය. ප්‍රථම පන්තියේ ක්‍රිකට්වලින් සමුගැනීමෙන් පසුව පුහුණුකරුවකු ලෙසට භූමිකාව ඇරඹූ හතුරුසිංහ මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද, පසුව ශ්‍රී ලංකා ‘ඒ’ පි‍ලේද ප්‍රධාන පුහුණුකරු ධුරය දැරුවේය. ශ්‍රී ලංකා ‘ඒ’ පි‍ලේ පුහුණුකාර ධුරය දරන සමයේ හතුරුසිංහගේ සහාය තුළ දක්ෂතා නැංවූ ක්‍රීඩකයන් අතර අදටත් ඇන්ජලෝ මැතිව්ස් හා සුරංග ලක්මාල් ශ්‍රී ලංකා පි‍ලේ රැඳී සිටිති.

2009 වසරේ හතුරුසිංහට උසස්වීමක් ලැබුණේ ශ්‍රී ලංකා පි‍ලේ (ඉඩචඤධඹ) සෙවණැලි පුහුණුකරු ලෙස ප්‍රධාන පුහුණුකරු වූ ටේ‍රවර් බේලිස්ට සහායකයකු ලෙස කටයුතු කිරීමය. මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ටී.එම්. ඩිල්ෂාන්, මුත්තයියා මුරලිදරන් පවා හතුරුසිංහගේ සේවය ලැබූ පරිණත ක්‍රීඩකයෝ විය. කෙසේ වුවත් ශ්‍රී ලංකා පිලට හතුරුසිංහගේ අවශ්‍යතාව තදින්ම අවශ්‍ය මොහොතකදී සිම්බාබ්වේ සංචාරයෙන් පසුව එවකට සිටි ක්‍රිකට් අතුරු පාලන ප්‍රධානී විසින් හතුරුසිංහ සේවයෙන් පහ කිරීමට තීරණය විය. සංගක්කාර, හතුරුගේ සේවයේ වටිනාකම ලිඛිතව දැනුම් දුනන්ද එයට සුබවාදී ප්‍රතිචාරයක් නොවීය. හතුරුසිංහ පිතිකරණයේ විශේෂඥයකු ලෙස පුහුණුවේදී කරනු ලැබූ මෙහෙය තුළ එදා ටෙස්ට් පිටියට පමණක් සීමාවූ තිලාන් සමරවීර එක්දින රටාවටද හොඳ දක්ෂතා ඇති පිතිකරුවකු බවට පත්විය.

අද වනවිට නැවතත් තිලාන් සමරවීරද ශ්‍රී ලංකා පිලට සමු ගැනීමෙන් පසුව පිතිකරණ විශේෂඥ පුහුණුකරු ලෙස එක්ව සිටීමද කැපී පෙනේ. එදා ශ්‍රී ලංකාවෙන් හතුරුසිංහ පිටවී ගොස් පසුව ඔස්ට්‍රේලියාවේ වාසය කරමින් නිවුසවුත් වේල්ස් ප්‍රාන්තයේ දක්ෂ පුහුණුකරුවකු බවට සේවය කිරීමේ ප්‍රතිඵලය වූයේ බංග්ලාදේශ පි‍ලේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වීමය.

බංග්ලාදේශය ඒ වනවිටත් ටෙස්ට් පිටියේ දක්ෂතා අතර නොසිටියද හතුරුසිංහගේ ආගමනයෙන් පසුව ප්‍රබල ප්‍රතිවාදීන් හා දක්ෂතා දැක්වීය. එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාවට අභියෝග කළ බංග්ලාදේශය තම 100 වැනි ටෙස්ට් තරගයේදී ප්‍රථම වරට පසුගිය මාර්තු ශ්‍රී ලංකා පිල පැරදවීම තුළ ඔහුගේ විශේෂඥ පුහුණුකරු දැනුම පැහැදිලි විය. ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලිය, එක්දින තරගාවලිය, ඕවර විස්ස-20 තරගාවලිය අපරාජිතව නිම කළ බංග්ලාදේශ පිලට පසුපස සිට ශ්‍රී ලංකා සංචාරයේ දායකත්වය හතුරුසිංහ දුන් බව නොරහසකි.

කෙසේ වුවත් 2019 ලෝක කුසලානය තෙක් හතුරුසිංහට බංග්ලාදේශය සමග ගිවිසුම තිබුණද පසුගිය මාර්තුවේදී ශ්‍රී ලංකාවේදී පැවසුවේ තමාට ශ්‍රී ලංකාවෙන් ඇරයුම් ලැබුණහොත් එය කැමැත්තෙන් භාරගන්නා බවයි. මට ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ඉගෙන ගෙනයි තැනකට ආවේ. වසර 20ක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල නියැලුණ තමාට පසුව ඔස්ට්‍රේලියාවෙන්ද වැඩි යමක් ක්‍රිකට්වල ඉගෙනීමට අවකාශ ලැබුණ බවත්, ඇරයුමක් ලැබුණහොත් තම මව්රටට වැඩි දෙයක් නැවතත් කිරීමට ආසාව බවද හතුරුසිංහ පැවසුවේය.

කෙසේ වුවත් හතුරුසිංහ වැනි ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන, ක්‍රීඩකයන් ගැන අවබෝධයක් ඇති පුහුණුකරුවකු මේ අවස්ථාවේදී ලැබිම ශ්‍රී ලංකා පිලට සුබවාදී අනාගතයකට හේතු වනු ඇත. මේ නිසා විදෙස් පුහුණුකරුවන් මතම යැපෙනවාට වඩා ශ්‍රී ලංකා පුහුණුකරුවකුගේ සේවය විශේෂයෙන් හොඳ සුදුසුකම් සහිත නිසා හතුරුසිංහගෙන් ලැබේ නම් එය වඩාත් වටිනා බව අමුතුවෙන් කිව යුතු නැත.

හතුරුසිංහගේ වටිනාකම හොඳින් දන්නා බංග්ලාදේශය තවදුරටත් ඔහු රඳවා ගැනීමට උත්සාහ දරයි. මේ නිසාම පසුගිය බදාදා ප්‍රකාශ කර තිබුණේ හතුරුසිංහ සමග සාකච්ඡා කොට ඔහුගේ එකඟතාව නැවතත් ලබාගැනීමට උත්සාහ කරන බවයි.

හදිසියේ හතුරුසිංහ ගත් තීරණයට හේතුව ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරය භාරගැනීමද? ශ්‍රී ලංකා බලධාරීන් ඔහුට හොඳ ප්‍රතිචාරයක් දක්වා ඇති බව නම් පැහැදිලිය. කෙසේ වුවත් තවමත් නිල වශයෙන් හතුරුසිංහ අස්වීම භාරගත් බව බංග්ලාදේශය සඳහන් කොට නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙවර විදෙස් පුහුණුකරුවන්ට වඩා හතුරුසිංහ කෙරෙහි විශ්වාසය තබා තිබිම වඩාත් වටින්නේ නවක ක්‍රීඩකයන් රොත්තක් සමග සිටින ශ්‍රී ලංකා පිලට හතුරුසිංහ වැනි පුහුණුකරුවකුගේ සේවය වඩාත් වැදගත්කමක් ඇති හෙයිනි. කෙසේ වුවත් පසුගියදා මිලියන ගණන් ගෙවා විදෙස් පුහුණුකරුවන්ගේ සේවය ගන්නා විට හඬ නැගූ සමහරුන් හතුරුසිංහ ගැනීමේදී මෙවර හඬක් නොනැගීම ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේම සුදුසුකම් ලත් පුහුණුකරුවකු ලැබේ නම් එහි අගය වැඩි බව අමුතුවෙන් කිව යුතු නැත. 1996 ලෝක කුසලානය ජයග්‍රහණයේදී ඩේව් වට්මෝර් ශ්‍රී ලංකාවේ උපත ලැබූ පසුකාලීනව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවෙකි. ශ්‍රී ලංකාවේම හැදී වැඩී, ක්‍රිකට් ක්‍රීඩා කොට පුහුණුකරුවකු වූ හතුරුසිංහ වැන්නකුට ශ්‍රී ලංකා පිල භාරදීමට ක්‍රිකට් බලධාරීන්ගේ තීරණය වඩාත් කාලෝචිත වන්නේ මෑතකාලීන විදෙස් පුහුණුකරුවන් හෙබවූ තනතුරට මේ වනවිට ලෝකයේ සිටින ක්‍රිකට් පුහුණුකරුවන් අතර හතුරුසිංහ වඩාත් සුදුසු වන හෙයිනි.

තිලාන් සමරවීර පිතිකරණ විශේෂඥ පුහුණුකරු කිරීමට යෝජනාව හතුරුසිංහ විසින් ලැබි ඇති බව නිල නොවන ආරංචි ප්‍රකාශ කරයි. තිලාන් බංග්ලාදේශයට සේවයට ගන්න්ටද හතුරුසිංහගේ සහාය ලැබුණ බව නොරහසකි. මේ අතර මේ අවස්ථාවේදී තිලාන් එක්වීම එතරම් ප්‍රයෝජනයක් නොවන බව මෙවර ප්‍රධාන පුහුණුකරු ධුරයට ඉල්ලුම් කළ ඩීන් ජෝන්ස් ප්‍රකාශ කර සිටි බවද වාර්තා වේ. විදෙස් පුහුණුකරුවන්ගේ ප්‍රකාශ එසේ වුවද සමරවීර බංග්ලාදේශ පිතිකරුවන්ටද හොඳ සේවයක් කළා පමණක් නොව, ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයන්ටද කළ සේවය මීට පෙර ඇගයීමට ලක්ව තිබුණි.

පුහුණුකරු හතුරුසිංහ ලබාගැනීමේ ප්‍රයත්නය තවමත් අවසන් කර නැත. දැන් හතුරුසිංහ බංග්ලාදේශයෙන් නිල වශයෙන් ඉවත් වේද යන සුබ පණිවුඩය සැවොම බලා‍පොරොත්තුව සිටිති. මේ අතර හතුරුසිංහගේ පැමිණීම ගැන ක්‍රීඩා ඇමැති ඉඟියක් ලබාදුන් බවද වාර්තා වේ. මේ අතර අභියෝගාත්මක ඉන්දීය සංචාරයද දැන ඇරඹී ඇත. මෙහිදී ද ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණයේ මානසිකත්වය වැඩි වනු ඇතැයි අපේ පැතුමයි.

ධම්මික රත්නවීර
dhammikaratna@gmail.com

Untitled-5 Untitled-4