සිය ගමන් මල්‍ලේ සඟවාගෙන රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමින් යුතු රන් ආභරණ ගුවන් මගින් මෙරටට රැගෙන ආ පුද්ගලයකු කටුනායක ගුවන් තොටු‍පොළ රේගු නිලධාරීන් විසින් ඊයේ (16) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා ඊයේ අලුයම 3.30 ට සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණ ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය.

මෙම පුද්ගලයා රේගුවට භාණ්ඩ ප්‍රකාශ කිරීමට නොමැති ග්‍රීන් චැනලය ඔස්සේ පිටවන අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුගේ ගමන් මල්‍ලේ තිබි ග්‍රෑම් 127.36 ක් බරැති රුපියල් 6,36,800 ක් වටිනා රන් ආභරණ හයක් අත්අඩංගුවට ගන්නා ලදි.

රේගු අධ්‍යක්ෂ රුවන් සත්කුමාර, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ටී.එන්. දේවප්‍රිය යන මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර රේගු අධිකාරිවරුන් වන යූ.ජී.එස්. උදයංග, ඩබ්ලිව්.එම්.සී.එච්. විජයගුණරත්න, ආර්.එස්. මදුරප්පෙරුම, සී.එම්. මිහිඳුකුලසූරිය යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

මෙහි පසු විමර්ශන කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ දර්ශන සිල්වා මහතා විසින් සිදු කරනු ලබයි.

සාලිය කුමාර ගුණසේකර