පළාත් පාලන ආයතන සීමා නිර්ණය  පිළිබඳ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි  ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමට අවසර ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබ`දව එළැඹෙන 22 වනදා ප‍්‍රකාශ කරන බව අභියාචනාධිකරණය ඊයේ (16* දැනුම් දුන්නේය.

අදාළ පෙත්සම විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය, කුමුදුනි වික‍්‍රමසිංහ සහ ශිරානි ගුණරත්න  යන ත‍්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මේ බව දැනුම් දී ඇත.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ අමාත්‍යංශ ලේකම් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා පෙන්වා දී ඇත්තේ අදාළ පෙත්සමෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මෙන්ම  සීමා නිර්ණ කමිටුවේ සාමාජිකයන් වගඋත්තරකරුවන් ලෙස නම් නොකිරීම නීතිමය දෝෂයක් බවයි.

එසේම පෙත්සමේ විකෘති කළ කරුණු ගණනාවක් පවතින බැවින්  පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කළ යුතු බවද හෙතෙම පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවල නීතිඥවරුන් මෙහිදී මැදිහත්ව කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම මගින් පළාත් පාලන මැතිවරණය ප‍්‍රමාද කිරීමට උත්සාහ දරා ඇති බවයි.

නිලන්ත බක්මීවැව