පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධානියා වන අර්ජුන් ඇලෝසියස් මහතා දෙවතාවක් තමාට දුරකථනයෙන් කතා කළ බවත්, අනතුරුව ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඔහු හමු වී සාකච්ඡා කළ බවත් ක්‍රීඩා අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතා ‘රිවිර’ට පැවසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ අර්ජුන් ඇලෝසියස් මහතා දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට දුරකථනයෙන් කතා කළ සිද්ධිය සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ “මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව යන අතරතුරේ දවසක් අර්ජුන් ඇලෝසියස් මට කතා කළා. ඊට පස්සේ අපි දෙන්නා අමාත්‍යාංශයේ දී මුණ ගැසුණා. ඒ වෙලාවේ අර්ජුන් ඇලෝසියස් කිව්වා ඔහු නිර්දෝෂයි, මේ සිද්ධියේ දී ඔහුට උදව් කරන්න කියලා ඉල්ලුවා.මම ඒ වෙලාවේ ඔහුට පැහැදිලිවම කිව්වා මේ පරීක්ෂණ යන ආකාරයට මට ඔබට කිසිම උදව්වක් කරන්න බැහැ කියලා. ඒ සාකච්ඡාව එතැනින් අවසන් වුණා.

අර්ජුන් ඇලෝසියස් කාලයක් තිස්සේ මම අඳුරනවා. නමුත් මං ඔහුගෙන් පෞද්ගලික වරප්‍රසාද අරගෙන නෑ. ගෙවල් අරගෙන නෑ. ජනතාවගේ දේපළ මංකොල්ල කාපු කිසි කෙනෙක් බේරන්න මං ඉදිරිපත් වෙන්නේ නෑ.