ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉන්දියානු පිල සමග පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් තරග මාලාවේ ප්‍රථම ටෙස්ට් තරගය අද (16) කල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ඇරඹීමට නියමිතය.

දෙරට අතර මතෛක් ටෙස්ට් තරග 41ක් පවත්වා ඇති අතර තරග 19ක ජය ඉන්දීය පිලද, තරග 7ක ජය ශ්‍රී ලංකා පිලද වාර්තා කොට ඇති අතර තරග 15ක් ජය පරාජයෙන් තොරව නිමවී ඇත. ඉන්දීය තණතිල්‍ලේ මතෛක් ටෙස්ට් තරග 17ක් පවත්වා තරග 10ක ජය ඉන්දීය පිලද, තරග 7ක් ජය පරාජයෙන් තොරවද නිමවීම නිසා මතෛක් එක් ටෙස්ට් තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකා පිල එම ඓතිහාසික ටෙස්ට් ජය ලැබිමට මෙම තරග මාලාවේදී නව සැලසුමකින් මුහුණ දීමට බලා‍පොරොත්තු වේ.

කල්කටාහි ඊඩ්න් ගාඩ්න්හිදී ශ්‍රී ලංකා පිල ප්‍රථම වරට ටෙස්ට් තරගයකට මුහුණ දීමද විශේෂත්වයකි. 1934 සිට කල්කටාහි ටෙස්ට් තරග 40ක් ක්‍රීඩා කර ඇති ඉන්දීය පිල තරග 12ක් ජයග්‍රහණය කර ඇති අතර, තරග 15ක් පරාජය වී ඇත. කෙසේ වුවත් ඉන්දීය පිල මේ වනවිට ටෙස්ට් පිටියේ අංක එක කණ්ඩායම වීමත්, 2015න් පසුව ඉන්දීය පිල ඉන්දියාවේදී කිසිම තරගාවලියක් පරාජය නොවීමත් නිසා ශ්‍රී ලංකා පිලට මෙම තරගාවලිය ප්‍රබල අභියෝගයක් වේ.
ඉන්දීය තණතිල්‍ලේ ඉන්දීය පිල සත්කාරකත්වයේ වාසිය සමගින් වඩාත් ප්‍රබලව නැගී සිටීමද ශ්‍රී ලංකා පිල මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඓතිහාසික 2-0ක ජයක් පාකිස්තානයට එරෙහිව ලැබිම නිසා ඉන්දීය පිල ශ්‍රී ලංකාවේදී අඛණ්ඩව ලැබූ ජයග්‍රහණයන් ගැන නොසිතා වඩාත් විශ්වාසයකින් මෙවර තරග වැදීමට බලා‍පොරොත්තු වේ.

නායක දිනේෂ් චන්දිමාල් පවසන්නේ පාකිස්තානයට එරෙහිව ලැබූ ටෙස්ට් ජයග්‍රහණය තුළ ශ්‍රී ලංකා පිල හොඳින් විශ්වාසය ගොඩනගා ගෙන සිටින බවයි. අපි දන්නවා ඉන්දීය පිල ලොව ප්‍රමුඛ පෙළේ ටෙස්ට් කණ්ඩායම බව. පසුගිය වසර දෙක පුරාවට ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. එම නිසා මෙම තරගාවලිය අපට හොඳ අභියෝගයක් වුවත් එයට වඩාත් හොඳින් මුහුණ දීමට සූදානම් බව චන්දිමාල් පවසයි. අපි දන්නවා ඉන්දීය පි‍ලේ වැඩි දක්ෂතා මොනවාද? අපි මොනවාද තවදුරටත් දියුණු කර ගත යුත්තේ කියා. මේ නිසා කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩා කිරීම වඩාත් වැදගත් බව ශ්‍රී ලංකා පුහුණුකරු නික් ‍පෝතාස් පවසයි.

මෙවර ආබාධයෙන් පසුව ශ්‍රී ලංකා පිලට ඇන්ජලෝ මැතිව්ස් මැද පෙළ ශක්තිමත් කිරීමට විශේෂඥ පිතිකරුවකු ලෙස එක්වෙන අතර ලකුණු අතර සිටින ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න එම රිද්මය තවදුරටත් පවත්වා ගැනීමද වැදගත් වේ. විශේෂයෙන් එක් වසරක් තුළ මීට පෙර පිතිකරුවකු ලෙස සනත් ජයසූරිය ලකුණු 1000ක් සම්පූර්ණ කර ඇති අතර මෙම දක්ෂතාව සඳහා කරුණාරත්නට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 60ක් පමණි.

දෙදින පුහුණු තරගයේදී මැතිව්ස්, කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල සමගින් තවමත් එක් ටෙස්ට් තරගයකට සභාපති වී ඇති සධීර සමරවික්‍රමද අර්ධ ශතක ලබාගැනීම ශ්‍රී ලංකා පිතිකරුවන් ලෙස වැඩි විශ්වාසයක් ගොඩ නැගීමට හේතුවකි.

දිමුත් සමග සධීර සමරවික්‍රම ආරම්භක පිතිකරණයට එන අතර මොවුන් දෙදෙනාට හොඳ ආරම්භයක් ලබාදීම ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ට සවියක් වෙනු ඇත. අංක තුන පිතිකරු සඳහා ධනංජය ද සිල්වා සහ ළහිරු තිරිමාන්න අතර තරගයක් ඇති අතර මෑතක දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගැනීම හෝ පරිණත භාවයට මුල්තැන දීම මෙහිදී සැලකිල්ලට ගැනීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළඇණිය දඟපන්දු යවන රංගන හේරත්ට වැඩි වගකීමක් පැවරෙනු ඇත. ඊඩ්න් ගාඩ්න් තණතිල්ල වේගපන්දු යවන්නන්ට වැඩි වාසියක් ගෙනදෙනු ඇතැයි සිතන නිසා වේගපන්දු යවන්නන් තිදෙනකු ගැනීමේ අදහසක් ඇතත් එය ඊයේ වනතුරුත් නිශ්චිතව තීරණය කර නොතිබිණි. කෙසේ වුවත් ළහිරු ගමගේ, සුරංග ලක්මාල් සමගින් තුන් ඉරියව් දක්ෂතා සහිත දසුන් ශානක ගැනීමේ අදහසක් තිබුණද විශේෂඥ පිතිකරුවකු ලෙස මංගල ටෙස්ට් වරම් රොෂේන් සිල්වාට දීම සඳහාද අවසන් තීරණයකට ඊයේ වනතුරුත් පැමිණ සිටියේ නැත.

මේ අතර ඉන්දීය පි‍ලේද නායක විරාත් කෝලි තවදුරටත් ප්‍රබලම ටෙස්ට් පිල ලෙස ජයග්‍රාහී මානසිකත්වය පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත. ලෝකේෂ් රාහුල්, මුරලි විජේ සහ ශිකර් ධවාන් අතරින් දෙදෙනකු ආරම්භක පිතිකරණයට යෙදවීමට අදහස් කර ඇති අතර නායක කෝලි, චෙටෙස්වාර් පුජාරා, ආජින්ක්‍යා රහනේ, රෝහිත් ශර්මා පිතිකරුවන් ලෙස සිටියද මැද පෙළට ශර්මා ගැනීම කෙරෙහි අවසන් තීරණයකට එළැඹ නොසිටි බව වාර්තා වේ. වේගපන්දු යවන්නන්ට උචිත තණතිල්ලක් වුවහොත් උමේෂ් යාදෙව්, බුවනෂේවර් කුමාර්, මොහොමඩ් සාමි ගැන වැඩි බලා‍පොරොත්තු තබා ඇත. කෙසේ වුවත් රවි චන්ද්‍රන් අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජා ප්‍රබලම දඟපන්දු යුගලය ශ්‍රී පිලට නැවතත් අභියෝගයක් වීමට හැකියාව ඇත.

තිලාන් සමරවීර නව පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා පිලට වැඩි බලා‍පොරොත්තු ඇතිකරන අතර වේගපන්දු පුහුණුකරු රුමේෂ් රත්නායකගේ අදහස්ද කැටිව හොඳ සැලසුමකින් සටනට එනු ඇත. එහෙත් ක්‍රීඩකයන්ගේ පිටිය මැද හරඹය නිසි පරිදි සිදුවීම සඳහා හොඳ විශ්වාසයක් තිබිය යුතුමය.

ධම්මික රත්නවීර