යහපාලන ආණ්ඩුවේ සිව්වැනි නීල හරිත අයවැය ගැන විවිධ පැතිකඩ හරහා සාකච්ඡාවට බඳුන් වේ. අයවැයකින් අනතුරුව සැම වසරකම මෙවැනි කතාබහ දකින්නට ලැබිම සාමාන්‍ය තත්ත්වයකි. කොතරම් සර්ථක අයවැයක් වුව විරුද්ධවාදීන්ගේ බලවත් විවේචනයට ලක්වීම නොවැළැක්විය හැකිය. එමෙන්ම කොතරම් දුර්වල අයවැයක් වුවද එය ඊට පක්ෂපාත උදවියගේ ප්‍රශංසාවට ලක් වීමද එසේමය.

අද අපගේ අවධානයට ලක් වන්නේ මෙවර අයවැයේ බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් එක් යෝජනාවක් කෙරෙහිය. ඒ බිර මිල අඩු කිරීමට කරන ලද යෝජනාවයි.

බිරමිල අඩු කිරීම ගැන විවිධ මති මතාන්තර පළවේ. සමහරකු කීවේ බිර මිල අඩු කිරීම තරුණ පරපුර මත්පැනට යොමු කරවන අනතුරුදායක ප්‍රවේශයක් බවයි. එමෙන්ම බිර මිල අඩුකිරීමේ වාසිය සැලසෙන්නේ ඉහළ පැළැන්තියට බවත්, කම්කරු ජනතාව පාවිච්චි කරන්නේ ගල් අරක්කු නිසා ගල් අරක්කුවල මිල අඩු කළ යුතු බවත්, සමහර දේශපාලනඥයෝ හඬ අවදි කළහ. නමුත් බිර මිල පහත හෙළුවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණ ඇතිව බව රජයේ මතය ගෙනහැර පාමින් රජයේ වගකිවයුතු ඇමැතිවරු කියා සිටි කතාව ඇරඹෙන්නේ මෙතැනිනි.

සැබැවින්ම බිර මිල අඩු කළේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ සහිතව නම් එය අපූරු යෝජනාවකි. සමහර විටෙක සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණු ඇතිව මෙවැනි දෙයක් යෝජනා කළ පළමු රට අප විය හැකිය. අප එසේ කියන්නේ මෙම කර්මාන්තය නගා සිටුවීමට නම් කළ යුතු දහසකුත් එකක් යෝජනා තිබියදී එහි පළමු තැන බිරවලට හිමි වීම නිසාය.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම රජයේ අවංක අභිලාෂය නම් ඒ නැංවීම සඳහා කළ හැකි දෑ බොහෝය. සංචාරක කර්මාන්තය තම ප්‍රධාන ආදායම් මාර්ගය කර ගත් රටවල් ආදර්ශ කොටගත හැකිය. වැඩි ඈතකට යා යුතු නැත. මාලදිවයින, සිංගප්පූරුව හොඳම උදාහරණ වේ. මුහුදින් වට වූ භූමියක් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට කෙසේ යොදාගත යුතු දැයි යන හොඳම උදාහරණය අපට පෙන්වන්නේ මාලදිවයිනයි.

ලෝකය පුරා එවැනි සාධනීය උදාහරණ අපමණ තිබියදී අප මේ කරන විහිළු කෙතරම් ප්‍රායෝගික දැයි සිතා බැලිය යුතු නොවේද? සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ගතහැකි ප්‍රධාන ක්‍රියාමාර්ග කිසිවක් නොගෙන අවශේෂ කාරණාවක් මේ අයුරින් උලුප්පා දැක්වීම තුළ අපගේ දැක්මේ ඇති පටුකම හා පසුගාමීත්වය මැනවින් විශද නොකරන්නේ ද?

බිර බෝතලයක මිල අඩු කළ පමණින් සංචාරක ව්‍යාපාරය නැංවීමට ඉන් කිසියම් රුකුලක් ලැබෙන්නේද? මෙහිදී ද ගැටලු කිහිපයක් පැන නගී. සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ බිර බිමටද? එසේම ප්‍රමිතියෙන් ඉහළ ගණයේ බිර නිෂ්පාදනයක් අප රටේ සිදු වෙනවාද?

සැබැවින්ම සංචාරකයන් අප රටට පැමිණෙන්නේ රට පිළිබඳ මූලික අවබෝධයක් සහිතවය. මේ දිවයිනට පැමිණෙන සංචාරකයන්ගේ මුඛ්‍ය අරමුණ වන්නේ මේ දිවයිනේ ඇති ස්වභාව සෞන්දර්යය දැක විඳ ගැනීමයි. විශේෂයෙන් මුහුදු වෙරළ, ඓතිහාසික ස්ථාන, හරිත වනපෙතින් ගැවසුණු සුන්දර ස්ථාන මෙහිදී ප්‍රමුඛ වේ.

අප පළමුවෙන් කළ යුතු වන්නේ සංචාරකයකුගේ සිත් දිනාගත හැකි ස්ථාන හඳුනාගෙන ඒවාට පහසුවෙන් ළඟා විය හැකි මාර්ග පද්ධතියක් සකස් කිරීමයි. විදේශිකයන් සඳහා හෝ කැසිකිළි, වැසිකිළි පහසුකම් ලබාදීමයි. ලෝක ප්‍රකට සීගිරිය භූමියේ අවම කැසිකිළි හා වැසිකිළි පහසුකම් ප්‍රමාණවත් නැති බව මාධ්‍ය වාර්තා කොට තිබුණි.

එමෙන්ම ප්‍රමිතියෙන් ඉහළ බිර නිෂ්පාදනයන් අප රටේ සිදු වනවාද යන්න සැක සහිතය. සංචාරකයන් ලෙස අප රටට එන දකුණු ඉන්දියානු කම්කරුවන්ටත් විවිධ ව්‍යාපෘති වෙනුවෙන් අප රටට ගෙන එන චීන කම්කරුවන්ටත් අප රටේ බිර ඔට්ටුය. නමුත් “සංචාරකයන්’ යන නම ඇසූ විටම අප මතකයට නැගෙන යුරෝපා රටවල ධනවත් උදවියට නම් මේ බිර අල්ලන්නේ නැත. මන්ද හොඳ බිර වීදුරුවක රස ඔවුන් විඳ ඇති හෙයිනි.

එම නිසා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට බිර මිල පහත හෙළීමට යෑමෙක් යෝජනා කරයි නම් එය සැබැවින්ම ගැටලුවකි. සත්‍ය වශයෙන්ම සංචාරක කර්මාන්තයේ දියුණුවක් මේ යෝජනාවෙන් සපිරෙන්නේ නැත. එය විහිළු යෝජනාවකි.

මේ යෝජනාව තුළින් මතුවන තවත් ප්‍රතිපත්තිමය ගැටලුවක්ද වේ. එනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඒකායන අභිලාෂය වී ඇත්තේ දුම්වැටියෙන් හා මත්පැන්වලින් ජනතාව මුදා ගැනීමයි. සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් සිටි කාලයේ සිට ඔහු දුම්වැටියටත්, මත්පැන්වලටත් එරෙහි විශාල අරගලයක් කළ අයෙකි. අදටත් ජනාධිපතිවරයා සිටින්නේ ඒ සීමාවේ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ යෝජනාවෙන් පෙනේනනේ රජය සිටින තැන අමතකව යාමකි. මෙහිදී පැහැදිලිව දෙයක් කිව යුතුය. රටේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ප්‍රතිපත්ති සකසන්නේ නම් ඒවා මහ ‍පොළොවේ පැළවෙන ඒවා විය යුතුය. එසේ නොවන්නට අපි වලිගේ පාගා ගන්නවා නිසැකය.