සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අන්තර් බළකා මලල ක‍්‍රීඩා තරගාවලියේදී විල්පත්තුව බළකා මූලස්ථානය විසින් සමස්ත ශූරතාව දිනා ගන්නා ලදී. අනුශූරතාවය වැලිඔය බළකා මූලස්ථානයට හිමිවිය.   සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අන්තර් බළකා මලල ක‍්‍රීඩා තරගාවලිය ඉකුත් සතියේදී කොළඹ පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථාන ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ. මෙවර තරගාවලියේදී නව වාර්තා හයක් පිහිටුවන ලදී.

මෙම තරගාවලිය සඳහා අනුරාධපුරය, පුත්තලම, පොළොන්නරුව, විල්පත්තුව, අම්පාර, මැදිරිගිරිය, සේරුවිල, උහන, මහඔය, ගෝමරන්කඩවල, හොරොව්පතාන, ත‍්‍රිකුණාමලය, මුලතිව්, වැලිඔය, කැබතිගොල්ලෑව, වෙන්නවත්ත, කිලිනොච්චිය, වවුනියාව, කතරගම, නුවර, කටුනායක, මොනරාගල යන බළකා මූලස්ථාන නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1500ක් සහභාගි වූහ.

තරගාවලියේ සමාප්ති උත්සවය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ. සේවා වනිතා ඒකකයේ සභාපතිනි ලක්ෂ්මී පල්ලේගම මහත්මිය, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ශෙමාල් ප‍්‍රනාන්දු මහතා, මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පී.බී.ඞී. ඩයස් මහතා ඇතුළු පුහුණු පාසල් සහ උප බළකා අණදෙන නිලධාරිහුද මෙම උත්සව අවස්ථාවට සහභාගි වූහ.